පසුගිය දිනවල පැවති කැපී පෙනෙන පහත වැටීම අවසන් කරමින්, ලෝක වෙළඳපොළේ රන් මිල ඉහළ යාමට සාපේක්ෂව මෙරට රන් මිල අද (අඟහරුවාදා) යළිත් ශීඝ්‍රයෙන් ඉහළ ගිය බව කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳුන් ප්‍රකාශ කර ඇත. ඒ අනුව, රුපියල් 368,000ක්ව පැවති කැරට් 24 රන් පවුමක මිල රුපියල් 12,000කින් ඉහළ ගොස් රුපියල් 380,000ක් ලෙස සටහන් විය. එමෙන්ම කැරට් 22 රන් පවුමක මිල ද රුපියල් 338,000 සිට රුපියල් 349,000 දක්වා ඉහළ ගොස් තිබේ.මෙම හදිසි මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව වී ඇත්තේ ලෝක වෙළඳපොළේ රන් මිල යළිත් යථා තත්ත්වයට පත්වීමයි. වෙළඳපොළ දත්තවලට අනුව, අඟහරුවාදා දිනය තුළ ජාත්‍යන්තර රන් මිල ඇමෙරිකානු ඩොලර් 130කින් පමණ ඉහළ ගොස් ඇති අතර, එහිදී රන් අවුන්සයක මිල ඩොලර් 4,816ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙරට රන් මිලෙහි විශාල පහත වැටීමක් වාර්තා වී පැය 24ක් ගතවීමටත් පෙර මෙම වෙනස සිදු වීම විශේෂත්වයකි.පසුගිය සිකුරාදා පැවති අගයට වඩා ඩොලර් 200ක පමණ අඩුවීමක් පෙන්වමින්, සඳුදා දිනයේදී රන් අවුන්සයක මිල ඩොලර් 4,687ක් දක්වා පහත වැටී තිබුණි. වෙළඳපොළ විශ්ලේෂකයන් පවසන්නේ ජාත්‍යන්තර ආර්ථික වර්ධනයන් සහ ආයෝජක විශ්වාසය මත ලෝක රන් වෙළඳපොළෙහි පවතින දැඩි අස්ථාවරත්වය මෙම දෛනික මිල වෙනස්වීම්වලට හේතු වී ඇති බවයි. ඉදිරි කාලසීමාවේදී ද මෙරට රන් මිල මෙලෙස උච්චාවචනය විය හැකි බවට ඔවුන් අනතුරු අඟවයි.


























