ලක්සල 14 වන ප්‍රදර්ශනාගාරය මීගමුවේදී විවෘත වෙයි

ශ්‍රී ලංකා අත්කම් මණ්ඩලයේ (ලක්සල) 14 වන ප්‍රදර්ශනාගාරය කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය බදාදා (පෙබරවාරි 11) මීගමුව සංචාරක කලාපයේදී උත්සවාකාරයෙන් විවෘත කරන ලදී. ශ්‍රී ලාංකේය සාම්ප්‍රදායික ශිල්පීන්ගේ දක්ෂතාවයට සහ නිර්මාණශීලීත්වයට නිසි වටිනාකමක් ලබා දීමේ අරමුණින් මෙම නව ප්‍රදර්ශනාගාරය ආරම්භ කළ බව එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේය. මැදිකරුවන් ඉවත් කර ග්‍රාමීය ශිල්පීන් සෘජුවම ජාත්‍යන්තර වෙළඳපොළ සමඟ සම්බන්ධ කිරීමට මීගමුව වැනි සංචාරක මධ්‍යස්ථානයක ප්‍රදර්ශනාගාරයක් පිහිටුවීම උපායමාර්ගික පියවරක් බවත්, ලක්සල හුදෙක් භාණ්ඩ අලෙවි කරන ස්ථානයක් නොව ශ්‍රී ලාංකේය සංස්කෘතික අනන්‍යතාවය ලොවට හඳුන්වා දෙන “සන්නාම තානාපතිවරයෙකු” ලෙස ශක්තිමත් කිරීම රජයේ ප්‍රතිපත්තිය බවත් හෙතෙම වැඩිදුරටත් පැහැදිලි කළේය.​බතික්, ලී කැටයම්, මැටි භාණ්ඩ, පිත්තල භාණ්ඩ මෙන්ම දේශීය මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ නියැලී සිටින දහස් සංඛ්‍යාත ශිල්පීන්ගේ ජීවනෝපාය සුරක්ෂිත කරමින්, සාම්ප්‍රදායික දැනුම සහ නවීන තාක්‍ෂණය මුසු වූ උසස් තත්ත්වයේ නිෂ්පාදන දැන් මෙම නව මීගමුව ශාඛාවෙන් ලබාගත හැක. මෙම අවස්ථාවට ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික හෙට්ටියාරච්චි, අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සුභද්‍රා වල්පොළ, අත්කම් මණ්ඩලයේ සභාපති සුජීව සේනානායක, ලංකා නිර්මාණ මධ්‍යස්ථානයේ සභාපති සිසිර අමරබන්දු යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

What's your reaction?

Related Posts

1 of 1,010

Leave A Reply

Your email address will not be published. Required fields are marked *