ලාංකීය සංචාරක ක්ෂේත්‍රයේ පිම්මක්: 2026 වසරේ මුල් කාර්තුවේදීම ලක්ෂ 7 සීමාව පනී!

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නව වසරේ ආරම්භයේ සිටම කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරමින් සිටී. සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම දත්ත වාර්තාවලට අනුව, 2026 ජනවාරි මස 01 වැනිදා සිට මාර්තු 25 වැනිදා දක්වා කාලය තුළ පමණක් විදේශීය සංචාරකයින් 708,348 දෙනෙකු මෙරටට පැමිණ තිබේ. පසුගිය 2025 වසරේ මාර්තු මාසය පුරා පැමිණි සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 229,298ක් වූ අතර, මෙවර මාර්තු මස මුල් දින 25 තුළ පමණක් සංචාරකයින් 151,693 දෙනෙකු මෙරටට පැමිණීම විශේෂත්වයකි.​මෙම සංචාරක ප්‍රගමනය සඳහා ප්‍රධාන වශයෙන්ම දායක වී ඇත්තේ අසල්වැසි ඉන්දියාවයි. වසරේ මේ දක්වා පැමිණි මුළු පිරිසෙන් 139,164ක් ඉන්දියානු ජාතිකයන් වන අතර, එක්සත් රාජධානියෙන් 74,295ක් සහ රුසියාවෙන් 63,505ක් වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇත. මාර්තු මාසයේ දත්ත විශ්ලේෂණය කිරීමේදී ද වැඩිම දායකත්වය ඉන්දියාවෙන් (26%) ලැබී ඇති අතර, බ්‍රිතාන්‍යය, රුසියාව, චීනය සහ ජර්මනිය යන රටවලින් ද සැලකිය යුතු පිරිසක් පැමිණ තිබේ.​වත්මන් සංඛ්‍යාලේඛනවලට අනුව මාර්තු මාසයේ පැමිණීම් අතරින් ඉන්දියාවෙන් 39,424ක් ද, එක්සත් රාජධානියෙන් 13,967ක් සහ රුසියාවෙන් 13,272ක් ද වාර්තා වේ. මීට අමතරව චීනය සහ ජර්මනිය යන රටවලින් පිළිවෙළින් 12,166ක් සහ 10,523ක් වශයෙන් සංචාරකයින් මෙරටට සේන්දු වී ඇත. මෙම සුබවාදී ප්‍රවණතාවය හරහා මෙරට විදේශ විනිමය ඉපැයීම් තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් අපේක්ෂා කරයි.

What's your reaction?

Related Posts

1 of 1,072

Leave A Reply

Your email address will not be published. Required fields are marked *