​ලොව විශාලතම දම් පැහැති ස්වභාවික තරුවක හැඩැති මැණික: “Star of Pure Land” කොළඹදී එළිදක්වයි

ශ්‍රී ලංකාවෙන් හමුවූ ලොව විශාලතම ස්වභාවික දම් පැහැති මහා නිල් මැණික (Natural Purple Star Sapphire) පිළිබඳ විද්‍යාත්මක සහ සංස්කෘතික තොරතුරු නිල වශයෙන් ලෝක වාර්තා අතරට එක් කරමින් පසුගිය සෙනසුරාදා කොළඹදී ප්‍රකාශයට පත් කරන ලදී. “Star of Pure Land” ලෙස නම් කර ඇති මෙම මැණික කැරට් 3,536ක බරින් යුක්තය. ඇමරිකානු මැණික් විද්‍යායතනය (GIA) විසින් මෙය සහතික කර ඇති අතර, ලංකා මැණික් විද්‍යාගාරය (Lanka Gemological Laboratory) මගින් සිදුකළ ස්වාධීන පරීක්ෂණවලින් ද මෙය මෙරටින් හමුවූවක් බව තහවුරු කර ඇත. මෙම මැණිකෙහි ඇති විශේෂත්වය වන්නේ එහි මතුපිට පැහැදිලිව දර්ශනය වන කිරණ හයකින් යුත් තරු ලකුණයි. එහි විශාලත්වය, වර්ණය සහ පැහැදිලි බව හේතුවෙන් මෙතෙක් වාර්තා වී ඇති විශාලතම රවුම් හැඩැති ස්වභාවික දම් පැහැති මහා නිල් මැණික ලෙස මෙය විද්වතුන්ගේ ඇගයීමට ලක්ව තිබේ.​වසර මිලියන ගණනක ස්වභාවික භූ විද්‍යාත්මක ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙස නිර්මාණය වී ඇති මෙම මැණික, විද්‍යාත්මක වටිනාකමට අමතරව සංස්කෘතිකමය වශයෙන් ද සුවිශේෂී වැදගත්කමක් උසුලයි. දැනට මෙහි භාරකාරීත්වය ඇමරිකා එක්සත් ජනපදයේ ‘ටක්සන් මාස්ටර්පීස් මැණික් සංගමය’ (Tucson Masterpiece Gem Society) සතු වන අතර, ‘Star of Pure Land’ ව්‍යාපෘතිය යටතේ මෙහි පර්යේෂණ සහ සන්නිවේදන කටයුතු සම්බන්ධීකරණය කෙරේ. දැනට පෞද්ගලික භාරකාරීත්වයක් යටතේ පවතින මෙම මැණික, අනාගතයේදී එහි විද්‍යාත්මක හා සංස්කෘතික වැදගත්කම හඳුනා ගන්නා හිමිකාරීත්වයක් වෙත යොමු කිරීමට සංවිධායකයින් අපේක්ෂා කරයි. කොළඹදී පැවති මෙම විශේෂ දැනුවත් කිරීමේ අවස්ථාවට දෙස් විදෙස් මාධ්‍යවේදීන් මෙන්ම විද්‍යා සහ සංස්කෘතික ක්ෂේත්‍ර නියෝජනය කරන පිරිසක් ද සහභාගී වූහ.

What's your reaction?

Related Posts

1 of 959

Leave A Reply

Your email address will not be published. Required fields are marked *