ලෝක බෞද්ධ මහා සංඝ සභාවේ 60 වන සංවත්සරය ශ්‍රී ලංකාවේදී

ලෝක බෞද්ධ මහා සංඝ සභාවේ (WBSC) 60 වන සංවත්සර සැමරුම සහ 11 වන මහා මණ්ඩලයේ 2 වන විධායක කාරක සභා රැස්වීම එළඹෙන නොවැම්බර් 28 සිට දෙසැම්බර් 02 දක්වා ශ්‍රී ලංකාවේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු යොදා ඇත. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති විශේෂ සාකච්ඡාවකදී මේ පිළිබඳ අවධානය යොමු වූ අතර, දෙස් විදෙස් මහා සංඝරත්නය හා ගිහි නියෝජිතයන් සහභාගී වන මෙම රාජ්‍ය මට්ටමේ උත්සවය සාර්ථක කර ගැනීම සඳහා බුද්ධශාසන අමාත්‍යවරයා ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන්ගෙන් සැදුම්ලත් ඒකාබද්ධ කමිටුවක් පත් කිරීමට ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නේය. 1966 වසරේදී ශ්‍රී ලංකාවේදී ආරම්භ වූ මෙම ජාත්‍යන්තර බෞද්ධ සංවිධානය, සිය හැටවන සංවත්සරය යළිත් මෙරටේදීම සැමරීම සුවිශේෂී සන්ධිස්ථානයක් වන අතර, මේ සඳහා භූතාන රජු ඇතුළු රටවල් 50 ක නියෝජිතයන් 600 ක් සහ මෙරට ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය 500 නමක් සහභාගී වීමට නියමිතය.​සමාරම්භක උත්සවය කොළඹ නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේදී පැවැත්වෙන අතර, අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස ලෝක සාමය පතා පවත්වන ආශිර්වාද පූජාවන්, රුවන්වැලි සෑ රදුන් සහ මහනුවර ශ්‍රී දළදා මාලිගාව කේන්ද්‍ර කරගත් ආගමික වතාවත් මාලාවක් ද මීට සමගාමීව සංවිධානය කර ඇත. වප් පෝය අවසන් වීමෙන් පසු පැවැත්වෙන මෙම සමුළුව හරහා ශ්‍රී ලංකාවේ බෞද්ධ පුනරුදය පිළිබඳ ලොවට යහපත් පණිවිඩයක් ලබා දීමටත්, සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට රුකුලක් වීමටත් රජය අපේක්ෂා කරයි. මේ සඳහා අවශ්‍ය ගුවන් තොටුපළ විශේෂ පහසුකම් සහ රාජ්‍යතාන්ත්‍රික ආරාධනා කටයුතු විධිමත්ව සිදු කරන ලෙසත්, මෙම අවස්ථාව මෙරට අභිමානය සහ ආගන්තුක සත්කාරය ලොවට ප්‍රදර්ශනය කරන කවුළුවක් කර ගන්නා ලෙසත් ජනාධිපතිවරයා නිලධාරීන්ට වැඩිදුරටත් අවධාරණය කළේය.

What's your reaction?

Related Posts

1 of 1,027

Leave A Reply

Your email address will not be published. Required fields are marked *