වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1,750 දක්වා ඉහළ නැංවීමේ ඓතිහාසික ගිවිසුමට ශ්‍රී ලංකා රජය සහ ප්‍රාදේශීය වතු සමාගම් පසුගිය සිකුරාදා අත්සන් තැබූ අතර, මෙය වතු ක්ෂේත්‍රයේ වසර 200ක ඉතිහාසය තුළ ලබා දුන් විශාලතම වැටුප් වැඩිවීම ලෙස සැලකේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් 2026 අයවැය මගින් ඉදිරිපත් කළ ප්‍රධාන යෝජනාවක් බලාත්මක කරමින්, වතු යටිතල පහසුකම් අමාත්‍යාංශයේදී මෙම ගිවිසුම අත්සන් කෙරිණි. මේ අනුව, දැනට පවතින රුපියල් 1,350ක දෛනික වැටුප රුපියල් 400කින් ඉහළ යන අතර, ඉන් රුපියල් 200ක් වතු සමාගම් විසින්ද ඉතිරි රුපියල් 200ක මුදල රජයේ දායකත්වයක් ලෙසද ලබා දීමට නියමිතය. මෙම නව වැටුප පෙබරවාරි 10 වැනිදා සිට වතු කම්කරුවන්ට ගෙවීමට පියවර ගන්නා බව බලධාරීහු ප්‍රකාශ කළහ.මෙම වැටුප් යෝජනාව ජනාධිපතිවරයා විසින් පසුගිය නොවැම්බර් 7 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, ඒ සඳහා විපක්ෂය නියෝජනය කරන ජීවන් තොණ්ඩමන්, මනෝ ගනේෂන්, පලනි දිගම්බරම් සහ වී. රාධාක්‍රිෂ්ණන් යන මන්ත්‍රීවරුන්ගේද සහාය හිමි විය. වැටුප් ව්‍යුහය අවසන් කිරීම සඳහා විෂයභාර අමාත්‍ය සමන්ත විද්‍යාරත්න සහ නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් යන මහත්වරුන් වතු සමාගම් සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළහ. වතු ප්‍රජාවගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා අයවැයෙන් වෙන් කළ සහන පැකේජයට ජනවාරි 19 වැනිදා කැබිනට් අනුමැතිය හිමි වූ අතර, ඒ වෙනුවෙන් රුපියල් බිලියන 5ක් වෙන් කර ඇති බව කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය.වතු යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සහ වතු සමාගම් නියෝජිතයන් අතර මෙම ගිවිසුම අත්සන් කෙරුණු අතර, වැටුප් වැඩිවීමේ තම කොටස වෙනුවෙන් වතු සමාගම් රුපියල් බිලියන 6කට අධික මුදලක් වැය කරනු ඇතැයි ලංකා වතු හිමියන්ගේ සංගමය ප්‍රකාශ කර සිටියි.


























