වයස අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමට ස්පාඤ්ඤ රජය සූදානම් වන බව අගමැති පෙඩ්රෝ සැන්චෙස් ඩුබායි හි පැවති ලෝක රජයන්ගේ සමුළුවේදී ප්‍රකාශ කළේය. හානිකර අන්තර්ජාල අන්තර්ගතයන්ගෙන් තරුණ පරපුර ආරක්ෂා කිරීමේ අරමුණින් ගෙන එන මෙම යෝජිත නීතිය යටතේ TikTok, Instagram සහ X වැනි වේදිකාවලට ප්‍රවේශ වීමට පෙර දැඩි වයස් තහවුරු කිරීමේ ක්‍රමවේද හඳුන්වා දීමට සමාජ මාධ්‍ය සමාගම්වලට සිදුවනු ඇත. සමාජ මාධ්‍ය වර්තමානය වන විට නීති විරෝධී ද්‍රව්‍ය පාලනයකින් තොරව පැතිරෙන “ඩිජිටල් වල් බිමක්” බවට පත්ව ඇතැයි පවසන අගමැතිවරයා, මෙම නීති කඩ කරන සමාජ මාධ්‍ය ආයතනවල විධායක නිලධාරීන්ට එරෙහිව අපරාධමය දඬුවම් පැනවීමට පවා පියවර ගන්නා බව අවධාරණය කළේය.මෙම පියවර මීට පෙර ඕස්ට්‍රේලියාව විසින් හඳුන්වා දුන් ලොව ප්‍රථම දීප ව්‍යාප්ත සමාජ මාධ්‍ය තහනමට සමාන වන අතර, ප්‍රංශය, ඩෙන්මාර්කය සහ එක්සත් රාජධානිය වැනි රටවල් ද මෙවැනි සීමාවන් පැනවීමට මේ වන විට අවධානය යොමු කරමින් සිටී. කෙසේ වෙතත්, ස්පාඤ්ඤ රජයට මේ වන විට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නොමැති බැවින් මෙම යෝජනාව නීතියක් බවට පත්වීම සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීම අභියෝගාත්මක වී තිබේ. ඇතැම් පිරිස් මෙම පියවර ළමුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වැදගත් බව පවසන අතර, විවේචකයින් පෙන්වා දෙන්නේ මෙය ක්‍රියාත්මක කිරීමේ ප්‍රායෝගික යාන්ත්‍රණයන් පිළිබඳව තවමත් ගැටලු පවතින බවයි.


























