වසර 15ක ගල් අඟුරු ගනුදෙනු පීරන්න CIDය සැරසෙයි

පසුගිය වසර 15ක කාලය පුරා ශ්‍රී ලංකාවට ගල් අඟුරු ආනයනය කිරීමේදී සිදුව ඇතැයි පැවසෙන මහා පරිමාණ වංචා සහ දූෂණ සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් පවත්වන ලෙස දන්වමින් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අද (11) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. 2009 වසරේ සිට මේ දක්වා මෙරටට ගෙන්වන ලද සෑම ගල් අඟුරු නැවක් පිළිබඳවම මෙහිදී දැඩි අවධානය යොමු කිරීමට නියමිතය.​ගල් අඟුරු ගනුදෙනුවලදී රජයට විශාල වශයෙන් පාඩු සිදු වී ඇති බවට පාර්ලිමේන්තුව තුළ මෙන්ම සමාජ මාධ්‍ය සහ ජන මාධ්‍ය ඔස්සේ ද පසුගිය කාලය පුරා විවිධ පාර්ශ්වයන් දිගින් දිගටම චෝදනා එල්ල කර තිබුණි. මෙම කරුණු කෙරෙහි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ විශේෂ අවධානය යොමු වීමෙන් අනතුරුව, රටේ ජාතික ධනය සම්බන්ධයෙන් පවතින මෙම සැක සහිත තත්ත්වයන් අනාවරණය කර ගැනීම සඳහා මෙම පියවර ගෙන ඇත.​ඒ අනුව, ජනාධිපතිවරයා ලබාදුන් උපදෙස් මත ජනාධිපති ලේකම්වරයා විසින් අද පෙරවරුවේ රහස් පොලිසියට මෙම පැමිණිල්ල භාර දෙනු ලැබීය. අදාළ කාල සීමාව තුළ ගල් අඟුරු මිලදී ගැනීමේ ක්‍රියාවලිය, ටෙන්ඩර් පටිපාටි සහ ගෙවීම් සිදු කිරීමේදී කිසියම් අක්‍රමිකතාවයක් සිදුවී ඇත්දැයි සොයා බැලීම මෙහි ප්‍රධාන අරමුණයි.​පසුගිය රජයන් කිහිපයක් යටතේ සිදු වූ මෙම ගනුදෙනුවල පාරදෘශ්‍යභාවය සම්බන්ධයෙන් එල්ල වූ දැඩි මහජන විරෝධය සලකා බලා, වගකිවයුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සාක්ෂි රැස් කිරීමේ වගකීම දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැවරී තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,091

Leave A Reply

Your email address will not be published. Required fields are marked *