වීසා උපදේශන සේවා මුවාවෙන් පවත්වාගෙන යනු ලබන වංචනික විදේශ රැකියා නියෝජිතායතන මර්දනය කිරීමේ විශේෂ මෙහෙයුමක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) විසින් ආරම්භ කර ඇත. විදේශ රැකියා ලබා දෙන බව පවසමින් රැකියා අපේක්ෂිතයන්ගෙන් මහා පරිමාණයෙන් මුදල් වංචා කරන ආයතන ඉලක්ක කරගනිමින් කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය මෙම වැටලීම් දැඩි කර තිබේ. ඒ අනුව, රුමේනියාවේ ලොරි රථ රියදුරු රැකියා ලබා දෙන බව පවසා පුද්ගලයන් දෙදෙනෙකුගෙන් රුපියල් ලක්ෂ 36ක මුදලක් වංචා කළ ජා-ඇල සහ කඳාන ප්‍රදේශයේ ආයතනයක් වටලා එහි හිමිකරු අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර ඇති අතර, ඊට සම්බන්ධ කාන්තාවක ද පෙබරවාරි 25 දක්වා රිමාන්ඩ් කිරීමට වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.මීට අමතරව, පෙබරවාරි 17 වැනිදා මීගමුව ප්‍රදේශයේදී සිදුකළ තවත් වැටලීමකදී, සමාජ මාධ්‍ය ඔස්සේ යුරෝපයේ සහ කැනඩාවේ රැකියා ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 55ක මුදලක් වංචා කළ ආයතනයක් ද කොටු කර ගැනීමට නිලධාරීන් සමත් විය. එහිදී අත්අඩංගුවට ගත් සැකකරු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 2.5ක මුදලක් ගෙවීමේ එකඟතාව මත ඇප මත මුදා හැර තිබේ. ඕනෑම මුදල් ගෙවීමකට පෙර අදාළ ආයතනය විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී ඇත්දැයි පරීක්ෂා කර බලන ලෙස බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර, මේ සම්බන්ධ විමර්ශන තවදුරටත් ක්‍රියාත්මකය.


























