විපක්ෂයට සහ මාධ්‍යයට ඇමති නලින්දගෙන් දැඩි විවේචනයක්!

රජය ක්‍රියාවට නැංවීමට උත්සාහ කළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අඩාල කිරීම සම්බන්ධයෙන් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විපක්ෂයට සහ ඇතැම් මාධ්‍ය ආයතන වෙත සිය දැඩි විවේචනය එල්ල කළේය. මෙම වසරේදී ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ හැකිදැයි මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා චෝදනා කළේ, සජිත් ප්‍රේමදාස, දිලිත් ජයවීර, නාමල් රාජපක්ෂ සහ විමල් වීරවංශ වැනි විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ මතවාදවලට ඇතැම් රූපවාහිනී නාලිකා වැඩි ඉඩක් ලබාදෙමින්, මෙම ප්‍රතිසංස්කරණ දරුවන්ට තර්ජනයක් බවට වැරදි මතයක් සමාජගත කළ බවයි. මාධ්‍ය වාර්තාකරණය සමබර නොවූ බව පෙන්වා දුන් ඔහු, සජිත් ප්‍රේමදාස මහතා ප්‍රතිසංස්කරණවල දෝෂ 150ක් ඇති බව පවසමින් සහ ‘ඩොට් නෙට්’ (.net) වැනි කරුණු හුවා දක්වමින් අදටත් විරෝධතා සංවිධානය කරන බව පැවසුවා.​තම නාලිකා එදා මහජන මතය නිවැරදිව නිරූපණය කළේද යන්න පිළිබඳව ස්වයං විවේචනයක යෙදෙන ලෙස මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටි අමාත්‍යවරයා, මෙවැනි අතිශයෝක්තියෙන් යුත් විරෝධතා හමුවේ 6 ශ්‍රේණිය සඳහා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම අපහසු බව ප්‍රකාශ කළේය. කෙසේ වෙතත්, ජනවාරි 29 වැනිදා සිට 1 ශ්‍රේණිය සඳහා වන ප්‍රතිසංස්කරණ සැලසුම් කළ පරිදි ඉදිරියට ගෙන යන බවත් ඔහු තහවුරු කළේය. කලින් විරුද්ධ වී දැන් ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටින්නේ නම් ඒ සඳහා සාධාරණ හේතුවක් තිබිය යුතු බවත්, මෙම ගැටලුවලට විසඳුමක් ලෙස විශ්වාසභංග යෝජනාවක් ගෙන එන්නේ නම් එය තීරණාත්මක වනු ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. දෙමාපියන්ගේ ඉල්ලීම් සාධාරණ වුවද, අධ්‍යාපනය වැනි සංවේදී විෂයයකදී පැහැදිලි විශ්වාසයක් ගොඩනැඟීම අත්‍යවශ්‍ය බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

What's your reaction?

Related Posts

1 of 987

Leave A Reply

Your email address will not be published. Required fields are marked *