ශ්‍රී ලංකාව මුහුණ දුන් දැවැන්තම අභියෝගයක් වූ ඉන්ධන අර්බුදය වත්මන් ජනාධිපතිවරයාගේ නිවැරදි කළමනාකරණය හමුවේ සාර්ථකව විසඳී ඇති බව සිවිල් බුද්ධි පෙරමුණේ සභාපති සංජය මහවත්ත මහතා පවසයි. ලෝකයේ බොහෝ රටවල් තවමත් බලශක්ති ගැටලුවලින් පීඩා විඳින පසුබිමක, මෙරටට අඛණ්ඩව ඉන්ධන නෞකා ගෙන්වමින් ජනජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට රජය ගත් ක්‍රියාමාර්ග ඔහු ඇගයීමට ලක් කළේය. පෝලිම් යුගය අවසන් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සිය ස්තූතිය පිරිනමන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.මෙම මාධ්‍ය හමුවේදී සංජය මහවත්ත මහතා සුවිශේෂී පියවරක් ගනිමින්, තෙල් පෝලිම් නැවත ඇතිවන තෙක් බලා සිටි විපක්ෂයේ බලාපොරොත්තු සුන්වීම සංකේතවත් කරමින් විනාඩියක නිශ්ශබ්දතාවයක් ද පැවැත්වීය. විපක්ෂය දේශපාලන වාසි තකා රට අස්ථාවර වනු දැකීමට ප්‍රාර්ථනා කළත්, රජය ක්‍රමවත්ව පෙට්‍රල් සහ ඩීසල් අවශ්‍යතාවය සපුරා ඇති බවත්, එමඟින් ජනතාව මුලාවේ දැමීමට උත්සාහ කළ පිරිස් අසරණ වී ඇති බවත් ඔහු මෙහිදී අවධාරණය කළේය.රට තුළ අසත්‍ය මතවාද පතුරුවන කණ්ඩායම් පිළිබඳව ද ඔහු සිය විවේචනය එල්ල කළේය. විශේෂයෙන්ම නොරොච්චෝලේ බලාගාරය සම්බන්ධයෙන් සහ ගල්අඟුරු හිඟයක් මවාපාමින් සමාජය බිය ගැන්වීමට උත්සාහ කරන පිරිස්, ඒ වෙනුවෙන් කිසිදු නීතිමය පියවරක් ගැනීමට හෝ සාක්ෂි ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇති බව ඔහු පෙන්වා දුන්නේය. ජනතාව තවදුරටත් මෙවැනි පදනම් විරහිත ප්‍රචාරවලට හසු නොවන බවත්, රටේ ඉදිරි ගමන වෙනුවෙන් සත්‍ය තොරතුරු අවබෝධ කර ගැනීම වැදගත් බවත් ඔහු අවසාන වශයෙන් ප්‍රකාශ කළේය.
























