විපක්ෂයේ මළ මිනී දේශපාලනය නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර හෙළා දකී

දිට්ටා සුළි කුණාටුවෙන් දැඩි ලෙස පීඩාවට පත් කොළොන්නාව ප්‍රදේශයේ පවුල් 1253ක් වෙනුවෙන් පූර්ණ නිවාස හානි වන්දි ලෙස රුපියල් ලක්ෂ තුන බැගින් වූ චෙක්පත් ප්‍රදානය කිරීම නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. මීට පෙර නිවාස පිරිසිදු කිරීම් සඳහා රුපියල් 25,000ක්, උපකරණ හානි වෙනුවෙන් රුපියල් 50,000ක් සහ පාසල් දරුවන් වෙනුවෙන් රුපියල් 25,000 බැගින් ලබා දී තිබූ අතර, මෙම නවතම වන්දි ප්‍රදානය ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය මත ක්‍රියාත්මක වූවකි. කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම පිරිසක් පීඩාවට පත් වූ කොළොන්නාව ප්‍රදේශයේ ජනතාවට කඩිනමින් සහන සැලසීමට රාජ්‍ය නිලධාරීන් ඉටුකළ කැපවීම මෙහිදී අමාත්‍යවරයාගේ ඇගයීමට ලක්විය.​මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ පටු දේශපාලන වාසි තකා විපක්ෂය බොරු ප්‍රචාර පතුරුවමින් සිටින බවයි. “අපරාධකාරී විපක්ෂය මළ ගෙවල් එනකම් බලාගෙන ඉන්නේ බූරුවා ගහන්න” යැයි සැර ප්‍රකාශයක් කළ ඔහු, ආපදා අවස්ථාවේදී රජය බෝට්ටු දෙකක් පමණක් ලබා දුන් බවට ප්‍රදේශයේ මන්ත්‍රීවරයකු කළ ප්‍රකාශය මුළුමනින්ම අසත්‍යයක් බව පෙන්වා දුන්නේය. පසුගිය පාලන සමයන්හිදී කොළොන්නාව ජනතාවට පොරොන්දු වූ වන්දි මුදල් පවා නිසි ලෙස නොලැබුණු පසුබිමක, වර්තමාන රජය ජනවරමට අනුව රාජ්‍ය ආදායම් කළමනාකරණය කරමින් ජනතාවට උපරිම සහන සලසන බව ඔහු සඳහන් කළේය.​ගෝලීය දේශපාලන අර්බුද හමුවේ නිර්මාණය වී ඇති බලශක්ති අර්බුදය පිළිබඳවද අමාත්‍යවරයා කරුණු පැහැදිලි කළේය. ලෝක බලවතුන්ගේ ක්‍රියාකලාපයන් හේතුවෙන් මෙරටට එල්ල වී ඇති බලපෑම ජය ගැනීමට නම් ජාතික මට්ටමේ සාමූහික මැදිහත්වීමක් අවශ්‍ය බව ඔහු පැවසීය. තෙල් ගබඩා කර ගැනීම වැනි පටු ක්‍රියාවලින් මෙම අර්බුදය විසඳිය නොහැකි බවත්, දිට්ටා කුණාටුවෙන් නැගී සිටියාක් මෙන්ම සියලු දෙනා එකාමෙන් එක්වී මෙම බලශක්ති අර්බුදයද කළමනාකරණය කරගත යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.​සහන වැඩපිළිවෙළේ පවතින විනිවිදභාවය පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, කිසිදු පෞද්ගලික කැමැත්තක් මත නොව අවශ්‍යතාවය පවතින සෑම පුද්ගලයෙකුටම සහන සැලසීමට රජය මැදිහත් වන බවයි. තවමත් සහන නොලැබුණු යම් පිරිසක් වේ නම් ඔවුන්ට අභියාචනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව පවතින බවත්, මෙය වන්දි ලබා දීමේ අවසානය නොව ආරම්භය පමණක් බවත් ඔහු සඳහන් කළේය. දේශපාලන බේදයකින් තොරව ජනතාවගේ පීඩනය අවම කිරීම රජයේ මූලික වගකීමක් ලෙස සලකා ක්‍රියා කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

What's your reaction?

Related Posts

1 of 1,058

Leave A Reply

Your email address will not be published. Required fields are marked *