වියළි කාලගුණයෙන් කෘෂිකර්මයට සහ විදුලියට දැඩි බලපෑම්: ඔක්තෝබර් දක්වා පවතිනු ඇතැයි අනාවැකි!

දිවයිනේ දැනට පවතින වියළි කාලගුණය තවදුරටත් පැවතුණහොත් මෙරට වී වගාවට මෙන්ම ජල විදුලි උත්පාදනයට ද දැඩි බලපෑම් එල්ල විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පවසයි. වර්ෂාව මත බෙහෙවින් යැපෙන වී වගාව මෙම තත්ත්වය හමුවේ අඩාල විය හැකි බවත්, ජලාශවල ජල මට්ටම පහත වැටීම නිසා විදුලි උත්පාදනය ද සීමා විය හැකි බවත් ඔහු මාධ්‍ය වෙත අනාවරණය කළේය. පවතින අන්තර් මෝසම් කාලසීමාව තුළ වලාකුළු නිර්මාණය වීම අවම වීම සහ පැසිෆික් සාගරයේ වර්ධනය වන ‘එල් නිනෝ’ (El Nino) තත්ත්වය හේතුවෙන් මෙම වියළි ස්වභාවය ඔක්තෝබර් මාසය දක්වා පැවතිය හැකි බවත්, අප්‍රේල් මැද භාගයේදී සුපුරුදු පරිදි යම් ගිගුරුම් සහිත වැසි ඇති වුවද සැබෑ තද වැසි අපේක්ෂා කළ හැක්කේ ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී පමණක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.​මීට අමතරව, පවතින අධික රශ්මිය හේතුවෙන් විවිධ සෞඛ්‍ය ගැටලු ඇති විය හැකි බැවින් අනවශ්‍ය ලෙස වෙහෙස වීමෙන් වළකින ලෙස ද මහජනතාවට දැනුම් දී ඇත. කෙසේ වෙතත්, ඌව, මඩකලපුව, අම්පාර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලටත්, බස්නාහිර, සබරගමුව, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලටත් මිලිමීටර් 50 ඉක්මවූ වැසි ඇති විය හැකි බවට පුරෝකථනය කර තිබේ. ඊයේ පස්වරුව වන විට කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට ප්‍රදේශයෙන් මිලිමීටර් 77 ක උපරිම වර්ෂාපතනයක් වාර්තා වී ඇති අතර, දෙණියාය, උඩුගොඩ, දෙල්ලව සහ දැරණියගල යන ප්‍රදේශවලින් ද සැලකිය යුතු වර්ෂාපතනයන් වාර්තා වී ඇත.

What's your reaction?

Related Posts

1 of 1,048

Leave A Reply

Your email address will not be published. Required fields are marked *