ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශ්‍රාමික රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ මහතා යාන්ත්‍රික නොවන ඇවිදීමේ යන්ත්‍රයක් (Manual Treadmill) මත අඛණ්ඩව ධාවනයේ යෙදෙමින් නව ගිනස් ලෝක වාර්තා කිහිපයක් පිහිටුවීමට සමත්ව ඇත. 2026 මාර්තු 21 වන දින ආරම්භ කළ මෙම අසීරු අභියෝගයේදී, පැය 12ක් තුළ කිලෝමීටර් 100.36ක දුරක් සහ පැය 24ක් තුළ කිලෝමීටර් 190.55ක දුරක් ආවරණය කරමින් ඔහු සිය දිරිමත්භාවය ප්‍රදර්ශනය කළේය. එමෙන්ම කිලෝමීටර් 100ක දුරක් අවම කාලයකින් (පැය 11යි විනාඩි 57යි තත්පර 18කින්) නිම කරමින් තවත් සුවිශේෂී වාර්තාවක් තම නම ඉදිරියේ සටහන් කර ගැනීමට ඔහුට හැකි විය.මෙම ඓතිහාසික ජයග්‍රහණය උච්චතම අවස්ථාවට පත්වූයේ මාර්තු 22 වන දින පැය 48ක කාලයක් අඛණ්ඩව ධාවනයේ යෙදෙමින් සම්පූර්ණ කිලෝමීටර් 316.7ක දුරක් අවසන් කිරීමත් සමඟිනි. යාන්ත්‍රික නොවන ඇවිදීමේ යන්ත්‍රයක් මත පැය 48ක් තුළ වාර්තා කළ වැඩිම දුර ලෙස මෙය ලෝක වාර්තා පොතට එක්විය. මෙම සුවිශේෂී අවස්ථාව දැකබලා ගැනීම සඳහා නාවික හමුදාපති රියර් අද්මිරාල් කාංචන බානගොඩ සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය පිරිසක් එක්ව සිටියහ.සිය ජයග්රහණයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ප්‍රින්ස්ලි ලියනගේ මහතා සඳහන් කළේ, තමා තැබූ මෙම වාර්තාවන් අනාගතයේදී තවත් ශ්‍රී ලාංකිකයන් විසින් අලුත් කරනු දැකීම තම එකම අපේක්ෂාව බවයි. ශ්‍රී ලංකාවට මහත් අභිමානයක් ගෙන දුන් මෙම කායික හා මානසික ශක්තිය පිළිබඳ පරමාදර්ශය, දේශීය ක්‍රීඩා ක්ෂේත්රයේ නව පිබිදීමක් ඇති කිරීමට සමත් වනු නොඅනුමානය.
























