නොමග යැවීමට හෝ රැවටීමට තුඩු දෙන අයුරින් සත්ව ආහාර සදහා නිකුත්කර ඇති කිරිපිටි යොදාගනිමින් ව්‍යාජ තොරතුරු සදහන් කර මනුෂ්‍ය පරිභෝජනයට නැවත ඇසුරුම් කල සත්ව ආහාර නිෂ්පාදකයකු සම්බන්ධව පාරිභෝගික කටයුතු පිලිබද අධිකාරිය මගින් කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ පවරන ලද නඩුවකට අදාලව කුලියාපිටිය හෙට්ටිපොල පාර නිව් ප්‍රේමා ඇනිමල් ෆීඩ්ස් මනුෆැක්චර්ස් ආයතනයේ අමරපති මුදියන්සේලාගේ ධනුෂ්ක ඉන්දික බණ්ඩාර සුබසිංහ යන අයට මාස හතරක බරපතල වැඩ සහිත සිර දඩුවමක් සහ රුපියල් දසදහසක දඩ මුදලක් 2025.02.21 දින කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය මගින් නියම කරනු ලැබුවා.
2019 ජනවාරි මාසයේදී පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් සිදු කරන ලද විමර්ශනයකට අදාලව 2019.01.12 දින මෙම වැටලීම සිදුකල අතර දේශීය කිරිපිටි නිෂ්පාදකයකු විසින් සත්ව අහාර සදහා අලෙවිකරණ ලද එම කිරිපිටි මෙම සත්ව ආහාර නිෂ්පාදකයා විසින් මිලදීගෙන සත්ව ආහාර සදහා භාවිත නොකරමින් මනුෂ්‍ය පරිභෝජනය සදහා නැවත ඇසුරුම් කරන බවත් ඒවායෙහි මුල් ඇසුරුම ඉවත්කර ව්‍යාජ නිෂ්පාදිත සහ කල් ඉකුත්වීමේ දින ඇතුලු තොරතුරු ඇතුලත්කරන ලද නව ඇසුරුම්වලට නැවත අසුරන බවත් විමර්ශන නිලධාරීන් විසින් අනාවරණය කරගන්නා ලදී.
එමෙන්ම අදාල ව්‍යාපාරිකයා විසින් කිරිපිටි මෙට්‍රික් ටොන් 200 ක් පමණ මිලදීගෙන ඇති බවත් ඉන් මෙට්‍රික් ටොන් 40 ක් පමණ එම අවස්ථාව වනවිටත් අයිස් ක්‍රීම්, යෝගට් හා බිස්කට් නිෂ්පාදනය සදහා අලෙවිකර අවසන්ව ඇති බවත් විමර්ශන වලදී අනාවරණය වූ බැවින් අදාල ව්‍යාපාරිකයාට එරෙහිව 2019 ජනවාරි මස 18 දින කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරනු ලැබීය.
ඒ අනුව, වසර පහක පමණ දීර්ග නඩු විභාගයකින් පසුව අදාල ව්‍යාපාරිකයා වරදකරු බවට ගරු අධිකරණය මගින් තීන්දු කර මාස 4 ක බරපතල වැඩ සහිත සිර දඩුවමක් සහ රුපියල් 10,000.00 ක දඩ මුදලක්ද නියම කරන ලදී . අදාල භාණ්ඩ තොගය වන පරිභෝජනයට නුසුදුසු කිරිපිටි මෙට්‍රික් ටොන් 160 ක ප්‍රමාණයද ගරු අධිකරණයේ අධීක්ෂණය යටතේ විනාශකිරීමටද නියම කරන ලදී.
අලෙවිය සදහා භාණ්ඩ මිලදී ගැනීමේදී නියමිත සැපයුම් ජාලවලින් පරිබාහිරව වෙළදපොල මිලටත් වඩා අඩු මුදලට ලැබිය හැකි මෙවැනි භාණ්ඩ සම්බන්ධව වැඩි අවධානයක් යොමු කරන ලෙසත් මෙවැනි ව්‍යාපාරිකයන් සහ භාණ්ඩ සම්බන්ධව තොරතුරු වෙතොත් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය දැනුවත් කරන ලෙසත් ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලා සිටින අතර මෙවැනි ව්‍යාපාරිකයන් සම්බන්ධව නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීම සදහා පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය නිරන්තරව කටයුතු කරන බවත් පාරිභෝගිකයන් සහ වෙළදුන් දැනුවත් කරනු ලැබේ.
සභාපති
පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය