පසුගිය වසරේ බ්‍රිතාන්‍යයේ වේල්ස් අගනුවර වීදියක තිබී සොයාගත් ශ්‍රී ලාංකික කාන්තාවකගේ මළසිරුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 37 හැවිරිදි තිසර වීරගලගේ නැමති ශ්‍රී ලාංකිකයා, තමන් එම ඝාතනය සිදුකළ බවට නිව්පෝට් ක්‍රවුන් අධිකරණය හමුවේ වරද පිළිගෙන තිබේ. 32 හැවිරිදි නිවුන්හැල්ලගේ දෝන නිරෝධා කල්පනී නිවුන්හැල්ල නමැති තරුණිය 2025 අගෝස්තු 21 වන දින කාඩිෆ්හි රිවර්සයිඩ් ප්‍රදේශයේ මෝටර් රථ දෙකක් අතර බරපතල තුවාල සහිතව වැටී සිටියදී සොයාගනු ලැබූ අතර, ඇය එම ස්ථානයේදීම මියගොස් ඇති බව තහවුරු විය. මරණ පරීක්ෂණයේදී අනාවරණය වූයේ තියුණු ආයුධවලින් සිදුකළ බහුවිධ තුවාල හේතුවෙන් මෙම මරණය සිදුවී ඇති බවයි.පෙන්ට්වින් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන වීරගලගේ මීට පෙර මෙම ඝාතන චෝදනාව ප්‍රතික්ෂේප කර තිබුණද, පසුගිය සඳුදා පැවැති නඩු විභාගයේදී ඔහු සිය ස්ථාවරය වෙනස් කරමින් වරද පිළිගෙන ඇත. ඔහු තියුණු ආයුධයක් ළඟ තබාගැනීමේ චෝදනාවටද මීට පෙර වරද පිළිගෙන තිබුණි. වීරගලගේ මේ වන විට රිමාන්ඩ් බන්ධනාගාරගත කර ඇති අතර, ඔහුට එරෙහි දඬුවම් නියම කිරීම ලබන පෙබරවාරි 20 වන දින සිදු කිරීමට නියමිතය. නිරෝධාගේ වියෝව සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඇගේ පවුලේ සාමාජිකයන් සඳහන් කළේ ඇය කරුණාවන්ත හා ආදරණීය දියණියක මෙන්ම සැබෑ මිතුරියක ලෙස සැමදා මතකයේ රැඳෙනු ඇති බවයි.


























