ශල්‍යකර්ම සඳහා අත්‍යවශ්‍ය ‘ප්‍රොපොෆෝල්’ නිර්වින්දන ඖෂධයේ දැඩි හිඟයක්!

ශල්‍යකර්මවලදී නිර්වින්දනය සඳහා භාවිත කරන ප්‍රධානතම ඖෂධයක් වන ‘ප්‍රොපොෆෝල්’ (Propofol) එන්නත් සහ දියර වර්ගයේ දැඩි හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි. දිවයින පුරා රෝහල්වල ප්‍රධාන ශල්‍යකර්මවලට භාජනය වන රෝගීන් සඳහා බහුලව භාවිත කරන මෙම ඖෂධය, මේ වන විටත් රෝහල් කිහිපයක සහ වෛද්‍ය සැපයුම් අංශවල සීමිත මට්ටමකින් පවතින බව ඔහු සඳහන් කළේය. තොග නැවත පිරවීමට කඩිනම් පියවර නොගතහොත්, ඉදිරි කාලයේදී ප්‍රධාන ශල්‍යකර්ම පවත්වාගෙන යාමට මෙය බරපතල බාධාවක් වනු ඇති බවට ඔහු අනතුරු අඟවයි.​වෙනත් විකල්ප නිර්වින්දන ඖෂධ පවතින නමුත්, එහි ඇති සාර්ථකත්වය සහ රෝගීන්ගේ ප්‍රතිචාරය කලින් හඳුනාගත හැකි වීම නිසා නිර්වින්දන වෛද්‍යවරුන් අතර වඩාත් විශ්වාසදායී ඖෂධය වන්නේ ප්‍රොපොෆෝල් බව වෛද්‍ය සංජීව මහතා පෙන්වා දෙයි. විකල්ප ඖෂධවලින් මෙම මට්ටමේ විශ්වාසනීයත්වයක් හෝ සායනික ප්‍රතිචාරයක් නොලැබෙන බැවින් බොහෝ ශල්‍යකර්ම සඳහා ඒවා එතරම් යෝග්‍ය නොවන බවද ඔහු පවසයි. එබැවින් අත්‍යවශ්‍ය ශල්‍යකර්ම සේවා අඩාල වීම වැළැක්වීම සඳහා රජය මැදිහත් වී ප්‍රොපොෆෝල් ඖෂධය කඩිනමින් රෝහල් වෙත සැපයීමට පියවර ගත යුතු බව වෛද්‍ය වෘත්තිකයෝ අවධාරණය කරති.​මේ අතර, රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති අජිත් තිලකරත්න මහතාද මෑතකදී අනතුරු අඟවා සිටියේ ශ්‍රී ලංකාව ඉදිරියේදී දැඩි ඖෂධ හිඟයකට මුහුණ දීමේ අවදානමක් ඇති බවයි. රටේ ඖෂධ සැපයුම් පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වන කෙටි කාලීන මෙන්ම දිගු කාලීන වැඩපිළිවෙළක අවශ්‍යතාව ඔහු එහිදී අවධාරණය කළේය.

What's your reaction?

Related Posts

1 of 914

Leave A Reply

Your email address will not be published. Required fields are marked *