මෙහෙයුම් හේතූන් මත මැදපෙරදිග ගමනාන්ත කිහිපයක් සඳහා සැලසුම් කර තිබූ ගුවන් ගමන් වාර කිහිපයක් අවලංගු කිරීමට පියවර ගත් බව ශ්‍රීලංකන් ගුවන් සේවය නිවේදනය කරයි. ඒ අනුව, කොළඹ සහ ඩුබායි අතර ක්‍රියාත්මක වන UL231/UL232 ගුවන් ගමන් 2026 මාර්තු 19 සහ 20 යන දිනවලදී අවලංගු වනු ඇත. මීට අමතරව, කොළඹ–දම්මාම් (UL253/UL254), කොළඹ–දෝහා (UL217/UL218) සහ කොළඹ–කුවේට් (UL229/UL230) යන ගුවන් ගමන් වාර 2026 මාර්තු 28 වනදා දක්වා අත්හිටුවීමට තීරණය කර තිබේ.මෙම තත්ත්වය හේතුවෙන් අපහසුතාවයට පත්වන මගීන්ට සහාය වීම සඳහා ගුවන් සමාගමේ ගෝලීය ඇමතුම් මධ්‍යස්ථානය (Global Contact Centre) හෝ අදාළ සංචාරක නියෝජිතයන් සම්බන්ධ කර ගන්නා ලෙස ශ්‍රීලංකන් ගුවන් සේවය ඉල්ලා සිටී. එමෙන්ම, ගුවන් ගමන් වල නවතම තත්ත්වයන් පිළිබඳව නිල වෙබ් අඩවිය හෝ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ නිරන්තරයෙන් අවධානය යොමු කරන ලෙස මගීන්ට උපදෙස් දී ඇති අතර, සිදුවූ අපහසුතාවය පිළිබඳව ගුවන් සමාගම සිය කණගාටුව පළ කර සිටියි.
























