රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නුවර පැවැත්වෙන ජාත්‍යන්තර ප්‍රවාහන හා සැපයුම් සංසදය අතරතුර, මෙරට ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ බෙලරුස් ප්‍රවාහන අමාත්‍ය ඇලෙක්සෙයි ලියාක්නොවිච් මහතා අතර විශේෂ හමුවක් පවත්වා තිබේ. දෙරට අතර ප්‍රවාහන ක්ෂේත්රයේ සහයෝගිතාව තවදුරටත් පුළුල් කිරීම මෙහි ප්‍රධාන අරමුණ වී ඇත.මෙහිදී විශේෂයෙන්ම දෙරටේ මගී ගමනාගමන පහසුකම් ඉහළ නැංවීම සඳහා නව ගුවන් සේවා ගිවිසුමකට එළඹීමේ හැකියාව පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ. මීට අමතරව, ශ්‍රී ලාංකික වෘත්තීයවේදීන්ට බෙලරුස් රාජ්‍ය ප්‍රවාහන විශ්වවිද්‍යාලය හරහා උසස් පුහුණු අවස්ථා ලබා දීම කෙරෙහි ද දෙපාර්ශවයේම විශේෂ අවධානය යොමු විය.දැනට මෙරට ක්‍රියාත්මක වන ප්‍රවාහන නවීකරණ වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම සඳහා බෙලරුස් රාජ්‍යයේ සතු උසස් තාක්ෂණය සහ විශේෂඥ දැනුම ලබා ගැනීම සම්බන්ධයෙන් ද අමාත්‍ය බිමල් රත්නායක මහතා මෙහිදී අදහස් හුවමාරු කර ගත්තේය. මෙම සාකච්ඡාව මෙරට පොදු ප්‍රවාහන පද්ධතියේ ගුණාත්මක වර්ධනයට මනා පිටුවහලක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.





















