ජනගහන පරිහානියට විසඳුමක් ලෙස ශ්‍රී ලංකාව ඇතුළු විදේශ රටවලින් කාන්තාවන් “ආනයනය” කළ යුතු බවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළ ජින්ඩෝ ප්‍රාන්තයේ ප්‍රධානී කිම් හී-සූ පක්ෂයෙන් නෙරපා හැරීමට දකුණු කොරියාවේ පාලක ඩිමොක්‍රටික් පක්ෂය (DP) පසුගිය සඳුදා තීරණය කළේය. දකුණු ජොල්ලා පළාතේ ජින්ඩෝ ප්‍රාන්ත ප්‍රධානියා විසින් සිදු කරන ලද මෙම අවමන් සහගත ප්‍රකාශය හේතුවෙන් ඔහුව පක්ෂයෙන් නෙරපා හැරීමට ඩිමොක්‍රටික් පක්ෂයේ උත්තරීතර මණ්ඩලය ඒකමතිකව තීරණය කළ බව එම පක්ෂයේ ප්‍රකාශක පාක් සූ-හ්යුන් මාධ්‍ය වෙත අනාවරණය කළේය.පසුගිය බදාදා දකුණු ජොල්ලා හි පැවැති රූපවාහිනී නගර සභා රැස්වීමකදී, ග්‍රාමීය ප්‍රදේශවල වෙසෙන තරුණයින්ට විවාහ කර දීම සඳහා “වියට්නාමය සහ ශ්‍රී ලංකාව වැනි රටවලින් තරුණියන් ආනයනය කළ යුතු” බවට කිම් කළ යෝජනාව මහජනතාවගේ දැඩි විවේචනයට ලක් විය. මෙම ප්‍රකාශය සිදු කර දින පහකට පසු පක්ෂය මෙම දැඩි තීරණය ගෙන ඇත. පසුදිනම ඔහු මේ පිළිබඳව සමාව අයැද සිටි අතර, ග්‍රාමීය ප්‍රදේශ මුහුණ දෙන දැඩි ජනගහන අඩුවීම සහ විවාහය සඳහා පවතින පදනම දුර්වල වීම වැනි ව්‍යුහාත්මක ගැටලු පෙන්වා දීම තම අරමුණ වූ බව ඔහු එහිදී ප්‍රකාශ කර තිබුණි.


























