ශ්‍රී ලංකා දෙමළ විවාද කරන්නන්ගේ කවුන්සිලය (Tamil Debaters’ Council) මලයාසියාවේ පැවැති ජාත්‍යන්තර විවාද තරගාවලියකදී ප්‍රථම වරට ශූරතාව දිනාගනිමින් ඓතිහාසික ජයග්‍රහණයක් අත්කරගෙන ඇත. මලයාසියාවේ උත්තරා විශ්වවිද්‍යාලය (UUM) සංවිධානය කළ ‘Sampanthan Paindhamizh Chudar 5.0’ තරගාවලියේදී ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම, එම තරගාවලියේ වසර පහක ඉතිහාසය තුළ ශූරතාව දිනූ පළමු විදේශීය කණ්ඩායම බවට පත්විය. කොළඹ රාජකීය විද්‍යාලයේ හරේෂ් ජෙයරූබන්ගේ නායකත්වයෙන් යුත් මෙම ජයග්‍රාහී කණ්ඩායමට යාපනය සාන්ත පැට්‍රික් විද්‍යාලයේ මයිකල් ජෙනුෂාන්, පේදුරුතුඩුව මෙතෝදිස්ත උසස් බාලිකා විද්‍යාලයේ සිවාජිනී ප්‍රදීපන් සහ ශ්‍රී ෂන්මුගා හින්දු බාලිකා විද්‍යාලයේ ලක්ෂ්මිතා සිවසංකරන් ඇතුළත් වූහ. මීට අමතරව, මෙරට පාසල් රැසක් නියෝජනය කරමින් තවත් සිසුන් කණ්ඩායම් කිහිපයක්ම මලයාසියාවේ ප්‍රාන්ත පහක් පුරා විවිධ විශ්වවිද්‍යාල නියෝජනය කරමින් මෙම සංචාරයට එක්ව සිටියහ.මෙම ජයග්‍රහණයෙන් පසු ශ්‍රී ලංකා නියෝජිත පිරිස ක්වාලාලම්පූර් නුවර පිහිටි ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලයේදී එරට මහා කොමසාරිස් රිස්වි මහතාගේ විශේෂ ඇගයීමට ලක් විය. එහිදී සිසුන්ගේ විනය සහ දක්ෂතාව අගය කළ මහා කොමසාරිස්වරයා, ශ්‍රී ලංකාව සහ මලයාසියාව අතර වාර්ෂික විවාද වැඩසටහන් සහ සංස්කෘතික හුවමාරු වැඩසටහන් ඇති කිරීමේ හැකියාව පිළිබඳවද සාකච්ඡා කළේය. එමෙන්ම මලයාසියාවේ වෙසෙන ලාංකීය දෙමළ ප්‍රජාවගේ ඉතිහාසය පිළිබඳව සිසුන් දැනුවත් කළ ඔහු, මලයාසියාවේ ලාංකීය සංගමයේ සභාපතිවරයා සමඟ ද සිසුන් සම්බන්ධ කරමින් ඉදිරි සහයෝගීතාව සඳහා මංපෙත් විවර කර දුන්නේය.මෙම ජයග්‍රහණය ශ්‍රී ලාංකේය දෙමළ විවාද කලාවේ හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස සැලකෙන අතර, එය වසර ගණනාවක ක්‍රමවත් පුහුණුවක ප්‍රතිඵලයක් බව දෙමළ විවාද කරන්නන්ගේ කවුන්සිලය පවසයි. සජිෂ්ණවන් සිවචන්ද්‍රතේවන් මහතා ඇතුළු මණ්ඩලයේ මඟපෙන්වීම යටතේ ලැබූ මෙම ජයග්‍රහණය හරහා ශ්‍රී ලාංකේය සිසුන්ට ජාත්‍යන්තර තලයේ නව අධ්‍යාපනික සහ සංස්කෘතික අවස්ථාවන් රැසක් උදාවනු ඇතැයි එම කවුන්සිලය විශ්වාසය පළ කරයි.


























