ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්රයේ නවමු පෙරළියක් ඇති කරමින් ‘ශ්‍රී ලංකා පැඩෙල් ලීගය 2026’ (SLPL) දෙවැනි අදියර එළඹෙන ජූනි 19 වැනිදා සිට 21 වැනිදා දක්වා කොළඹ පැඩෙල් හවුස් (Padel House) පරිශ්‍රයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට කටයුතු යොදා ඇත. ලොව වේගයෙන්ම වර්ධනය වන ක්‍රීඩාවක් ලෙස සැලකෙන පැඩෙල් ක්‍රීඩාව, මෙරට තුළ වෘත්තීය මට්ටමේ ෆ්‍රැන්චයිස් ක්‍රීඩා සංස්කෘතියක් දක්වා ඔසවා තැබීම මෙම තරඟාවලියේ මූලික අරමුණයි.පසුගිය වසරේ ලද අතිමහත් සාර්ථකත්වයෙන් පසු, මෙවර තරඟාවලිය වඩාත් පුළුල් මාධ්‍ය ආවරණයක් සහ උසස් විකාශන තාක්ෂණයන්ගෙන් සමන්විත වේ. විශේෂයෙන්ම මෙවර තරඟාවලිය සඳහා පළමු වරට ජාත්‍යන්තර ක්‍රීඩකයින්ට ද දොරටු විවෘත කර ඇති අතර, එමඟින් ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපයේ ප්‍රධාන පැඩෙල් ගමනාන්තයක් ලෙස ස්ථාපිත කිරීමට සංවිධායකයින් වන ‘Eventistry Sports’ ආයතනය අපේක්ෂා කරයි.මෙවර තරඟාවලිය සඳහා ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් ප්රියොරිටි බෑන්කින් (Standard Chartered Priority Banking) එක්ව සිටීම සුවිශේෂීත්වයකි. මීට අමතරව හච් ටෙලිකොමියුනිකේෂන්ස්, පියෝ ටීවී, ඊ එෆ් එම් සහ රෙඩ්බුල් ඇතුළු ප්රමුඛ පෙළේ ආයතන රැසක් සහයෝගීතා හවුල්කරුවන් ලෙස එක්ව සිටීමෙන් ලීගයේ වාණිජමය වටිනාකම තවදුරටත් ඉහළ ගොස් ඇත.යාල රේන්ජර්ස්, ට්‍රින්කෝ ටයිටන්ස්, අහංගම බැලර්ස්, කලම්බු ඒසස්, වැලිගම ෂාක්ස්, ගාලු ෆෝර්ට් මැරීනර්ස්, ඇල්ල ආචර්ස් සහ ට්‍රින්කෝ රිකවරි රූම් යන ආයතනික අනුග්‍රහය සහිත කණ්ඩායම් අටක් මෙවර කුසලානය වෙනුවෙන් තරඟ වදිති. මින් අහංගම බැලර්ස් සහ වැලිගම ෂාක්ස් කණ්ඩායම් මෙවර අලුතින්ම ලීගයට එක්වන අතර, පසුගිය වර ශූරතාව දිනූ කලම්බු චීසස් කණ්ඩායම සිය ආධිපත්‍යය රැකගැනීමේ අභියෝගය භාරගෙන සිටියි.තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් තෝරාගන්නා නිල වෙන්දේසිය එළඹෙන අප්‍රේල් 24 වැනිදා පැවැත්වීමට නියමිතය. මෙවර ක්‍රීඩක වෙන්දේසියේදී විශේෂ වෙනසක් ලෙස ක්‍රීඩකයින් කාණ්ඩගත නොකරන අතර, තමන්ට අවශ්‍ය දක්ෂතම සංචිතයක් තෝරාගැනීමේ පූර්ණ නිදහස සහ උපාය මාර්ගික පාලනය කණ්ඩායම් හිමිකරුවන්ට ලබා දී තිබීම තරඟකාරීත්වය තවදුරටත් වැඩිකරන්නකි.ක්‍රීඩාවට උනන්දුවක් දක්වන ඕනෑම දේශීය හෝ විදේශීය ක්‍රීඩකයෙකුට වයස් සීමාවකින් හෝ ශ්‍රේණිගත කිරීම්වලින් තොරව ලියාපදිංචි වීමේ අවස්ථාව හිමිවේ. ඒ අනුව https://www.google.com/search?q=slpadelleague.com වෙබ් අඩවිය හරහා ලියාපදිංචි විය හැකි අතර, ලියාපදිංචි වීමේ අවසාන දිනය අප්‍රේල් 14 වැනිදා වේ. තෝරාගනු ලබන සියලුම ක්‍රීඩකයින් සෘජුවම අප්‍රේල් මස පැවැත්වෙන වෙන්දේසියට ඉදිරිපත් කරනු ලබයි.තරඟාවලිය පිරිමි, කාන්තා සහ මිශ්‍ර (Mixed) යන අංශ තුනෙන්ම පැවැත්වෙන අතර, මෙය ක්‍රීඩාවට පමණක් සීමා නොවී සමාජ සත්කාරක මෙහෙවරක් ලෙසද ක්‍රියාත්මක වේ. ඒ අනුව ‘1Works’ ආයතනය සමඟ එක්ව ‘නවෝද්‍යා’ සහ ‘Justice for Animals’ වැනි ව්‍යාපෘති සඳහා සහය දැක්වීමට ද ලීගය කටයුතු කරන බව අධ්යක්ෂ මණ්ඩලය නිවේදනය කර ඇත.ක්‍රීඩා ලෝලීන්ට සහ ව්‍යවසායකයින්ට නව අත්දැකීමක් ගෙන එන මෙම SLPL 2026 තරඟාවලියේ නිල මාධ්‍ය හමුව මාර්තු 03 වැනිදා ‘Elevate by Jetwing’ හිදී පැවැත්විණි. ක්‍රීඩාව, විනෝදාස්වාදය සහ වෘත්තීය මට්ටමේ තරඟකාරිත්වය එක්තැන් වන මෙම සුවිශේෂී ක්‍රීඩා මංගල්‍යය මෙරට ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළනු නිසැකය.

























