ශ්‍රී ලංකාව සහ බෙල්ජියම අතර ද්විපාර්ශ්වික සබඳතාවල වැදගත් පියවරක් සනිටුහන් කරමින් දෙරට අතර මංගල දේශපාලන උපදේශන වාරය පසුගිය අඟහරුවාදා බ්‍රසල්ස් නුවරදී පැවැත්විණි. 2017 දෙසැම්බර් මාසයේදී අත්සන් කරන ලද ගිවිසුමකට අනුව ස්ථාපිත කෙරුණු මෙම නිල සංවාද යාන්ත්‍රණය යටතේ පැවැති සාකච්ඡා සඳහා ශ්‍රී ලංකා නියෝජිත පිරිස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ යුරෝපීය හා උතුරු ඇමරිකානු අංශයේ අධ්‍යක්ෂ ජනරාල් සුගීෂ්වර ගුණරත්න මහතා විසින් මෙහෙයවන ලදී. බෙල්ජියම් පාර්ශවය ආසියා සහ ඕෂනියා අංශයේ ද්විපාර්ශ්වික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් බර්ගිට් ස්ටීවන්ස් මහත්මිය විසින් මෙහෙයවන ලදී. මෙහිදී දේශපාලන සම්බන්ධතා, වෙළෙඳ, ආයෝජන සහ සංචාරක ක්ෂේත්‍ර පිළිබඳව පුළුල් සමාලෝචනයක් සිදුකළ අතර ආරක්ෂක, සමුද්‍රීය ආරක්ෂාව, විද්‍යාත්මක හා සංස්කෘතික හුවමාරු සහ දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දීමේ හැකියාව වැනි කරුණු පිළිබඳව ද අවධානය යොමු විය. විශේෂයෙන්ම හරිත බලශක්තිය, ඖෂධ නිෂ්පාදනය, තොරතුරු තාක්ෂණය සහ වරාය හා සැපයුම් ක්ෂේත්‍රවල ආයෝජනය කිරීමට ඇති උනන්දුව ශ්‍රී ලංකාව යළි තහවුරු කළේය. එසේම 2028 වසරට යෙදෙන දෙරට අතර 75 වැනි තානාපති සබඳතා සංවත්සරය සැමරීම සඳහා වන සූදානම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි. යුරෝපා සංගමයේ GSP+ සහනය, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මඟපෙන්වීම යටතේ සිදුකරන ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳව ද නියෝජිත පිරිස කරුණු සමාලෝචනය කළහ. ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ ආයතනික ප්‍රතිසංස්කරණ බෙල්ජියමේ ඇගයීමට ලක් වූ අතර, ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු සිදුකරන ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා බෙල්ජියමේ සහාය ශ්‍රී ලංකාව අපේක්ෂා කළේය. යහපාලනය තහවුරු කිරීම සහ ජාතික සංහිඳියාව වෙනුවෙන් ගන්නා පියවර පිළිබඳව ශ්‍රී ලංකා නියෝජිත පිරිස බෙල්ජියම් පාර්ශවය දැනුවත් කළ අතර, දෙරටම එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය සහ ජාත්‍යන්තර නීතියට ඇති කැපවීම යළිත් අවධාරණය කළහ.


























