ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන්ගේ පැරණිතම සහ ප්‍රමුඛතම වෘත්තීය ආයතනය වන ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ (SLMA) 132 වන සභාපතිවරයා ලෙස වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතා පසුගියදා කොළඹදී පැවැති උත්කර්ෂවත් නිල ප්රාප්ති උළෙලේදී සිය ධුරයේ වැඩකටයුතු ආරම්භ කළේය. මෙම අවස්ථාවට සංගමයේ භාරකරුවන්, හිටපු සභාපතිවරුන්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්, එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් සහ දෙස් විදෙස් විද්වතුන් රැසක් සහභාගී වූහ. “දේශීය හා ගෝලීය හවුල්කාරිත්වයන් හරහා ජාතියේ යහපැවැත්ම” යන තේමාව යටතේ සිය මංගල දේශනය පැවැත්වූ වෛද්‍ය සුමනතිලක මහතා, සෑම ශ්‍රී ලාංකිකයෙකුටම පූර්ණ සෞඛ්‍ය සුවය ළඟා කර දීම සඳහා කැපවන බව අවධාරණය කළේය.ඔහුගේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ රෝගීන් කේන්ද්‍ර කරගත් සත්කාරක සේවාවක් ප්‍රවර්ධනය කිරීම සහ දියවැඩියාව හා හෘද රෝග වැනි බෝ නොවන රෝග වළක්වා ගැනීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමයි. රෝග සුව කිරීම සඳහා රුපියල් මිලියන ගණනින් වැය කරනවාට වඩා, රෝග වැළැක්වීමට ප්‍රමුඛතාවය දීම වඩාත් තිරසාර සෞඛ්‍ය ප්‍රතිඵල ලබා දෙන බව ඔහු පෙන්වා දුන්නේය. එමෙන්ම මෙතෙක් ජාතික සෞඛ්‍ය ප්රතිපත්තිවලදී බොහෝ විට අවධානයට ලක් නොවන “පිරිමි සෞඛ්‍යය” (Men’s Health) පිළිබඳ ගැටලුව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතු බවත්, වෛද්‍ය වෘත්තිය සදාචාරාත්මක හා මානුෂීය වටිනාකම් මත පදනම් වූ විනයගරුක වෘත්තියක් ලෙස ශක්තිමත් කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේම යහපැවැත්ම උදෙසා රජය, රාජ්‍ය නොවන සංවිධාන සහ මාධ්‍ය ආයතන ඇතුළු සියලුම පාර්ශවකරුවන්ට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සමඟ එක්ව කටයුතු කරන ලෙස වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතා මෙහිදී විවෘත ඇරයුමක් කළේය.


























