සහයෝගීතාවයෙන් සහ මානුෂීයත්වයෙන් නව දේශයක් කරා! – ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

​දෙසැම්බර් මාසයේ උදාවත් සමඟ ලොව පුරා කිතුණු ජනතාව ජේසුස් බිළිඳාණන්ගේ උපත මහත් හරසරින් සැමරීමට සූදානම් වුවද, මෙවර නත්තල උදා වී ඇත්තේ වෙනදා පවතින උත්සව සිරියෙන් තොරව බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසන්නීය. මුළු රටම කම්පා කළ ස්වභාවික ව්‍යසනය හේතුවෙන් දහස් සංඛ්‍යාත ජනතාවක් අත්විඳින ශෝකය හා පීඩාව මධ්‍යයේ මෙවර දෙසැම්බර් මාසය එළඹ ඇති බව ඇය පෙන්වා දෙයි. කෙසේ වෙතත්, නත්තලේ සැබෑ අරුත සහ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීම්වලට අනුව, අපේ රටේ ජනතාව සියලු භේද පසෙකලා විපතට පත් වූවන් වෙනුවෙන් පෙනී සිටිමින් ප්‍රේමය, දයාව සහ එකිනෙකාට ආදරය කිරීමේ උතුම් ගුණය ලොවටම ප්‍රායෝගිකව පෙන්වා දී ඇති බව අග්‍රාමාත්‍යවරිය අවධාරණය කරයි.​අප රට මේ වන විට පවතින්නේ තීරණාත්මක සන්ධිස්ථානයක බැවින්, දේශය යළි ගොඩනැගීම සඳහා සියලු ප්‍රජාවන් පොදු අරමුණක් සහ සාමූහික වගකීමකින් යුතුව එක්විය යුතු බව ඇය පවසයි. වත්මන් රජය කෙරෙහි විශ්වාසය තැබූ බහුතර ජනතාවගේ බලාපොරොත්තු සහ අපේක්ෂාවන් මල්ඵල ගන්වමින්, සැවොම සිහින දකින “නව රට” ගොඩනැගීමේ පොදු අරමුණ වෙනුවෙන් රජය නොපසුබටව කැපවන බව අග්‍රාමාත්‍යවරිය සිය පණිවිඩයේ සඳහන් කර සිටියි.​වඩාත් යහපත් හෙට දිනක් පිළිබඳ පොදු සිහිනය සැබෑ කර ගැනීම සඳහා එකමුතුකම, ආදරය, දයාව සහ වගකීම පෙරදැරිව පුරවැසියන් ලෙස එක්ව කටයුතු කිරීමට මෙම නත්තල් දිනයේදී යළිත් අධිෂ්ඨාන කර ගන්නා ලෙස ඇය සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටියි. ශ්‍රී ලාංකික මෙන්ම ලෝකවාසී සියලුම කිතුණු ජනතාවට සාමය සහ සතුට සපිරි සුබ නත්තලක් වේවායි අග්‍රාමාත්‍යවරිය මෙහිදී හෘදයාංගමව ප්‍රාර්ථනා කර සිටියි.

What's your reaction?

Related Posts

1 of 910

Leave A Reply

Your email address will not be published. Required fields are marked *