ලෝක ස්ථූලතා දිනය නිමිත්තෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සංවිධානය කළ විශේෂ දැනුවත් කිරීමේ පා ගමනක් අද පෙරවරුවේ කොළඹ විහාර මහා දේවි උද්‍යානය අසලින් ආරම්භ විය. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම වැඩසටහන සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන් සහ මහජනතාව විශාල පිරිසක් එක්ව සිටියහ. නිරෝගී පරපුරක් උදෙසා ස්ථූලතාවය පාලනය කිරීමේ වැදගත්කම සමාජගත කිරීම මෙහි මූලික අරමුණ වී තිබුණි.මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා අවධාරණය කළේ, මෙරට ජනතාව මුහුණ දී සිටින ස්ථූලතාවය නැමති අභියෝගය මෙතෙක් ජයගෙන නොමැති අතර එය පරාජය කිරීම සඳහා සාමූහික මැදිහත්වීමක් අවශ්‍ය බවයි. ස්ථූලතාවය හේතුවෙන් බෝ නොවන රෝග වැළඳීමේ අවදානම ඉහළ යන අතර, පිළිකා වැනි බරපතළ රෝගාබාධ සඳහාද එය සෘජුවම බලපාන බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. ජනතාවගේ සෞඛ්‍ය සුරක්ෂිතතාව වෙනුවෙන් රජය සහ මහා භාණ්ඩාගාරය වාර්ෂිකව දැවැන්ත මූල්‍ය පිරිවැයක් දරන බවද ඔහු සිහිපත් කළේය.මෙම අභියෝගයට මුහුණ දීම සඳහා රජය විසින් දිවයින පුරා නවීන ‘සුවතා මධ්‍යස්ථාන’ ජාලයක් ස්ථාපිත කර ඇති බවද වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය. මේවා සාමාන්‍ය සෞඛ්‍ය මධ්‍යස්ථානවලින් ඔබ්බට ගොස්, පුද්ගලයෙකුගේ සුවතාවය පිළිබඳව ආරම්භයේ සිට අවසානය දක්වාම විද්‍යාත්මකව සොයා බලන විශේෂිත ඒකක ලෙස ක්‍රියාත්මක වේ. ජනතාවට වඩාත් ගුණාත්මක ජීවන රටාවක් හුරු කිරීම සඳහා මෙම මධ්‍යස්ථානවල සේවය උපරිමයෙන් ලබාගන්නා ලෙසද අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.ස්ථූලතාවයෙන් තොර නීරෝගී සමාජයක් ගොඩනැගීමට නම් පවතින අභියෝග හඳුනාගෙන ජනතාව ක්‍රියාකාරී විය යුතු බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. අද දින පා ගමනට එක්වූ පිරිස මෙන්ම සමස්ත ශ්‍රී ලාංකිකයින්ම ස්ථූලතාවය පරාජය කිරීමේ ජාතික වගකීමට උරදිය යුතු බව පවසමින් ඔහු සිය කතාව නිමා කළේය.

























