බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයට ලැබුණු තොරතුරක් මත ඊයේ පස්වරුවේ ගම්පහ, මාහේන ප්‍රදේශයේ සුසාන භූමියක සඟවා තිබූ ආයුධ තොගයක් සොයාගැනීමට පොලීසියට හැකිවිය.
මෙම විශේෂ වැටලීමේදී T56 ගිනිඅවියක්, මැගසිනයක් සහ ජීව උණ්ඩ 23ක් සොයාගැනීමට නිලධාරීන් සමත් විය.
මිනුවන්ගොඩ ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමක් විමර්ශනය කිරීම සඳහා ඊයේ (26) උදෑසන එහි ගිය බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට මෙම ආයුධ පිළිබඳ තොරතුරු ලැබී ඇත.
මෙම ගිනිඅවි කවුරුන් විසින් සඟවා ඇත්දැයි තවමත් හෙළි වී නොමැති අතර, ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන දැනටමත් ආරම්භ කර ඇත.
වැටලීමට බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ, සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕළුගල, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් වන පද්මසිරි හා දොලමුල්ල මහත්වරුන් සමඟ පොලිස් සැරයන් සෝමසිරි, හේරත් සහ පොලිස් කොස්තාපල් බුද්ධික, සමන් හා සුබසිංහ යන මහත්වරුන්ද සහභාගි වී ඇත.