දිවයිනට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා කොළඹදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය. එහිදී සුළි කුණාටුවෙන් සිදු වූ විනාශය හමුවේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ සුබපැතුම් සහ සහයෝගීතාවයේ පණිවිඩය ජනාධිපතිවරයා වෙත පිරිනමන ලදී. ‘සාගර බන්දු’ මෙහෙයුම යටතේ ඉන්දියාව ඉටුකළ මූලික සහන සේවා තවදුරටත් ශක්තිමත් කරමින්, ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 450ක (රුපියල් බිලියන 130කට අධික) විස්තීර්ණ ප්‍රතිසංස්කරණ පැකේජයක් ලබා දෙන බව අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේය.මෙම සහන පැකේජය යටතේ සුළි කුණාටුවෙන් විනාශ වූ මාර්ග, දුම්රිය මාර්ග සහ පාලම් යථා තත්ත්වයට පත් කිරීම මෙන්ම පූර්ණ හෝ අර්ධ වශයෙන් හානි වූ නිවාස නැවත ඉදිකිරීමට මූල්‍ය සහය හිමි වේ. මීට අමතරව, බලපෑමට ලක් වූ සෞඛ්‍ය හා අධ්‍යාපන අංශ නංවාලීමටත්, කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ඇති විය හැකි කෙටි හා මධ්‍යකාලීන හිඟයන් මඟහරවා ගැනීමටත් මෙමඟින් ආධාර සපයනු ඇත. ආපදා ප්‍රතිචාර දැක්වීම සහ පෙර සූදානම ශක්තිමත් කිරීමේ පියවර ද මෙයට ඇතුළත් බව අමාත්‍යවරයා සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් වැඩිදුරටත් අනාවරණය කළේය. දෙරට අතර පවතින ගැඹුරු ශිෂ්ටාචාරමය සබඳතා මින් පිළිබිඹු වන බවත්, මෙම දුෂ්කර අවස්ථාවේදී ඉන්දියාව ශ්‍රී ලංකාව සමඟ ස්ථිරවම සිටින බවත් ඔහු අවධාරණය කළේය.


























