සුළි කුණාටුව හේතුවෙන් මෙරට මාර්ග පද්ධතියට සිදුවූ හානි පිළිසකර කිරීම සඳහා සෞදි සංවර්ධන අරමුදල මගින් අතිරේකව ඇමරිකානු ඩොලර් මිලියන 6ක මූල්‍ය ආධාර ලබාදීමට තීරණය කර ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය නිවේදනය කරයි. ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ සෞදි සංවර්ධන අරමුදලේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම අරමුදල් ලබාදීම ස්ථිර කර ඇත.මෙම සාකච්ඡාව සඳහා සෞදි අරමුදලේ ජ්‍යෙෂ්ඨ විශේෂඥ (ණය මෙහෙයුම්) මොහොමඩ් අල්-මසූඩ්, ජ්‍යෙෂ්ඨ ණය විශේෂඥ අබ්දුල්රහ්මාන් එම්. අල්-සොගීර් සහ ව්‍යාපෘති විශ්ලේෂක ෆයිසාල් අල්-මුලිත් යන මහත්වරුන් ඇතුළු නියෝජිත පිරිසක් සහ අමාත්‍යාංශ ලේකම් ආචාර්ය කපිල පෙරේරා මහතා ද සහභාගී වූහ. එහිදී අමාත්‍යවරයා විසින් මෙරට සංවර්ධන ප්‍රමුඛතා, සුළි කුණාටුවෙන් සිදු වූ බලපෑම සහ රජයේ සහන වැඩපිළිවෙල පිළිබඳව නියෝජිත පිරිස දැනුවත් කළ අතර, රටේ පවතින දේශපාලන ස්ථාවරත්වය සහ ආර්ථික පුනරුදය පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.සෞදි සංවර්ධන අරමුදල දැනටමත් ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 60ක පමණ ආයෝජනයක් සිදු කර ඇති බවත්, අලුතින් ප්‍රදානය කළ මෙම ඩොලර් මිලියන 6ක මුදල සම්පූර්ණයෙන්ම සුළි කුණාටුවෙන් විනාශ වූ මාර්ග යටිතල පහසුකම් යථා තත්ත්වයට පත් කිරීම සඳහා යොදවන බවත් නිලධාරීහු වැඩිදුරටත් සඳහන් කළහ.


























