සොබාදහමේ අභියෝග මැද උදාවූ නත්තල: මානුෂීය බැඳීමෙන් රට යළි ගොඩනගමු! – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

සුළි කුණාටුව හේතුවෙන් මෙරට ජනතාව අත්විඳි අතිශය වේදනාකාරී අත්දැකීම් හදවත් තුළ රජයන මොහොතක 2025 නත්තල උදා වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. මෙම ස්වභාවික ව්‍යසනය හමුවේ අපට අහිමි වූ වටිනා ජීවිත, දේපළ හා ජීවනෝපායන් මෙන්ම සියල්ල අහිමි වූවන්ගේ කඳුළු සහ සුසුම් අදටත් ජාතියේ හෘද සාක්ෂියට තදින්ම දැනෙන බව ඔහු පෙන්වා දෙයි. එහෙත්, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තිය සමරන නත්තල යනු විනාශය මධ්‍යයේ බලාපොරොත්තුව උපදින, අඳුර මකා ආලෝකය උදාකරන මහා මංගල්‍යය බවත්, එය අකුසලය පරදා කුසලය ජයගන්නා නව යුගයක ආරම්භය බවත් විපක්ෂ නායකවරයා සිහිපත් කරයි.​සුළි කුණාටු ව්‍යසනය හමුවේ ජාති, ආගම් හෝ භාෂා භේදයකින් තොරව ශ්‍රී ලාංකිකයන් පෑ සහෝදරත්වය සහ මානුෂීය සහයෝගිතාවය අපේ රටේ ශක්තිය බවට පත්කරගත යුතු බව ඔහු අවධාරණය කරයි. මෙවැනි තීරණාත්මක කාලවකවානුවක අපට අවශ්‍ය වන්නේ බෙදීම් ඇති කරන දේශපාලනයක් නොව, ජනතාවගේ වේදනාව හඳුනන, යුක්තිගරුක හා දයානුකම්පිත රටක් ගොඩනැගීමට එක්වන සාමූහික ප්‍රයත්නයකි. අනාගතයේදී පැමිණිය හැකි මෙවැනි අභියෝගවලට සාර්ථකව මුහුණ දීම සඳහාත්, කිසිවෙකුත් තනි නොවන පරිදි වඩාත් අවදානමට ලක්විය හැකි පිරිස් ආරක්ෂා කරන රාජ්‍යයක් නිර්මාණය කිරීම අප සියල්ලන්ගේම වගකීමක් බවද ඔහු සිය පණිවිඩයේ සඳහන් කර සිටියි.​මෙවර නත්තල අපට මතක් කර දෙන්නේ අපට අහිමි වූ දේ පමණක් නොව, අප තුළ තවමත් ඉතිරිව පවතින උතුම් මනුෂ්‍යත්වය සහ හෙට දිනය පිළිබඳ විශ්වාසය බව සජිත් ප්‍රේමදාස මහතා පවසයි. එම විශ්වාසය පෙරදැරිව ශ්‍රී ලංකාව ශක්තිමත් සහ යුක්තිගරුක දේශයක් ලෙස යළි නැගී සිටිනු ඇති බවට ඔහු දැඩිව විශ්වාසය පළ කරයි. අවසාන වශයෙන්, සමස්ත කිතුණු ජනතාවටත්, සියලුම ශ්‍රී ලාංකිකයන්ටත් ලෝකවාසී සැමටත් සාමය, සෞභාග්‍යය, එකමුතුකම සහ නව බලාපොරොත්තු සපිරි සුබ නත්තලක් වේවායි විපක්ෂ නායකවරයා ප්‍රාර්ථනා කරයි.

What's your reaction?

Related Posts

1 of 910

Leave A Reply

Your email address will not be published. Required fields are marked *