”දිට්වා” සුළි කුණාටුව හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබූ හග්ගල ජාතික උද්භිද උද්‍යානය ඊයේ සිට යළි සංචාරකයින් සඳහා විවෘත කළ බව පරිසර අමාත්‍යාංශය නිවේදනය කරයි. මෙම යළි විවෘත කිරීම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) විසින් ලබා දෙන ලද නිර්දේශ සහ උපදෙස්වලට අනුකූලව සිදු කර ඇත. පවතින අවදානම් සහගත භූමි තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, උද්‍යාන පිවිසුම් දොරටුව අසල ඇති පොකුණ ආශ්‍රිත ප්‍රදේශය සහ වනාන්තර උද්‍යානය දෙසට දිවෙන ප්‍රවේශ මාර්ග ඇතුළු අනතුරුදායක සලකුණු පෙන්වන සීමිත ප්‍රදේශ කිහිපයක් පමණක් තාවකාලිකව වසා දමා තිබේ.අමුත්තන් එම අනතුරුදායක කලාපවලට ඇතුළුවීම වැළැක්වීම සඳහා අනතුරු ඇඟවීමේ පුවරු සවි කිරීමට අමාත්‍යාංශය පියවර ගෙන ඇත. දෙස් විදෙස් සංචාරකයින්ගේ පහසුව සහ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් උද්භිද උද්‍යාන කාර්ය මණ්ඩලය විසින් විශේෂ සහය සේවා වැඩසටහනක් ද ක්‍රියාත්මක කරනු ලබයි. දිවයිනට බලපෑ දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ වසා දැමුණු හග්ගල උද්භිද උද්‍යානය, ඉතා කෙටි කාලයක් තුළ මෙලෙස සාර්ථකව යළි විවෘත කිරීමට බලධාරීන් සමත්ව ඇත.


























