මෙරට ලුණු අවශ්‍යතාව දේශීයව සපුරා ගැනීමේ අරමුණින්, යල කන්නයට අදාළ ලුණු අස්වනු නෙළීමේ කටයුතු අද (28) පෙරවරුවේ හම්බන්තොට මහලේවාය කේන්ද්‍ර කරගනිමින් නිල වශයෙන් ආරම්භ කෙරුණා. පවතින වියළි කාලගුණික තත්ත්වය ලුණු නිෂ්පාදනයට බෙහෙවින් හිතකර වී ඇති අතර, ඉදිරි කාලසීමාව තුළ නිෂ්පාදන ධාරිතාව තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.හම්බන්තොට ලුණු සමාගමේ සභාපති ටී. නන්දන තිලක මහතා පවසන්නේ මහලේවාය, බූන්දල සහ පලටුපාන යන ලේවායන් ත්‍රිත්වයෙන් මෙවර ලුණු මෙට්‍රික් ටොන් 90,000කට ආසන්න ප්‍රමාණයක් ලබා ගැනීමට ඇස්තමේන්තු කර ඇති බවයි. මෙම සාර්ථක අස්වැන්නත් සමඟ ඉදිරියේදී මෙරටට විදේශයන්ගෙන් ලුණු ආනයනය කිරීමේ අවශ්‍යතාවක් මතු නොවන බව ද ඔහු විශ්වාසය පළ කළා.ලෝක දේශපාලනික තත්ත්වයන් සහ මැදපෙරදිග පවතින යුද වාතාවරණය හේතුවෙන් ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැසක මිල ගණන් ඉහළ ගොස් ඇතත්, දේශීය ලුණු මිලෙහි මෙතෙක් කිසිදු ඉහළ යාමක් සිදු වී නොමැති වීම විශේෂත්වයකි. පාරිභෝගිකයාට සහනදායී මිලට ලුණු ලබා දීමට අවශ්‍ය පියවර මේ වන විටත් ගෙන ඇති බව සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.දේශීය නිෂ්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කරමින් මෙරට ආර්ථිකයට දායකත්වයක් සැපයීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණයි. නූතන තාක්ෂණික ක්‍රමවේද සහ ස්වභාවික සම්පත් මනා ලෙස කළමනාකරණය කරමින් ඉදිරි මාස කිහිපය තුළ උපරිම අස්වැන්නක් ලබා ගැනීමට හම්බන්තොට ලුණු සමාගම සැලසුම් කර තිබේ.
























