රාජ්‍ය මුදල් අවභාවිත කිරීමට ආධාර අනුබල දීමේ චෝදනා මත රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටි හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (18) නියෝග කළේය. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2023 වසරේ බ්‍රිතාන්‍යයේ සිදු කළ පෞද්ගලික සංචාරයක් සඳහා රාජ්‍ය අරමුදල් අනුමත කිරීමට පහසුකම් සැලසීමේ චෝදනාව මත ඒකනායක මහතා අත්අඩංගුවට ගෙන තිබුණි.මෙම නඩුවේ දෙවන සැකකරු ලෙස නම් කර සිටි ඒකනායක මහතාට එල්ල වී ඇති චෝදනාව වන්නේ, 2023 අගභාගයේ සිදු වූ නිල සංචාරයක් අතරතුර මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වීම සඳහා රුපියල් මිලියන 16.9 ක පමණ රජයේ මුදල් අවභාවිත කිරීමට සහාය වීමයි. කරුණු සලකා බැලූ කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා, සැකකරු රුපියල් මිලියන 2 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළේය.සමන් ඒකනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා මීට පෙර ඇප ඉල්ලීමක් කර තිබූ අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා එම ඉල්ලීමට දැඩි ලෙස විරෝධය පළ කර තිබුණි. කෙසේ වෙතත් දෙපාර්ශවයේම කරුණු විමසා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම ඇප නියෝගය ප්‍රකාශයට පත් කළේය.

























