ශ්‍රී ලාංකේය සංස්කෘතිය හා සිංහල භාෂාව පෝෂණය කිරීමට අනූපමේය මෙහෙවරක් ඉටුකළ ප්‍රවීණ විද්වත් ජේ.බී. දිසානායක මහතාගේ ජීවන තොරතුරු ඇතුළත් “අනඳ පුත් රුවන් සංක්ෂිප්ත අපදාන ජේ.බී. ශ්‍රී ලාංකේය සංස්කෘතික විද්වතානෝ” ග්‍රන්ථය එළිදැක්වීම පසුගියදා කොළඹ මහවැලි කේන්ද්‍රයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍ය ධනංජය කත්‍රිආරච්චි මහතා විසින් රචිත මෙම කෘතිය, එම විද්‍යාලයේම මාධ්‍ය සංසදය විසින් සංවිධානය කරන ලද සුවිශේෂී උළෙලකදී ජනගත කෙරුණු අතර, මෙය ප්‍රාඥයෙකුගේ ශාස්ත්‍රීය ගමන ඇගයීමට ලක්කළ අගනා කර්තව්‍යයක් විය.පූජ්‍ය මහාචාර්ය පාතේගම ඥානීස්සර හිමි සහ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහතා ඇතුළු විද්වත් මණ්ඩලයක ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම උත්සවයේදී ග්‍රන්ථයේ අන්තර්ගතය සහ ජේ.බී. දිසානායක මහතාගේ සේවාව පිළිබඳව ගැඹුරු විවරණ ඉදිරිපත් කෙරිණි. මීට අමතරව ආනන්ද විද්‍යාලයේ විදුහල්පති ලාල් දිසානායක, ආචාර්ය ප්‍රණීත් අබේසුන්දර සහ විශේෂඥ වෛද්‍ය හැරිස් පතිරගේ යන මහත්වරුන් ද අදහස් දැක්වූ අතර, මෙරට ශාස්ත්‍රීය ක්ෂේත්‍රයට මෙවැනි ග්‍රන්ථයක ඇති වටිනාකම ඔවුන්ගේ දේශනයන්හිදී අවධාරණය විය.


























