අල්ජසීරා සිදුවීම වැනි දේවලින් ප්‍රචාරක වාසිය ගන්නවා වගේම නීතිරීති ගෙනල්ලා වැරදිකරුවන්ට දඬුවම් දෙන්න – පාඨලී චම්පික රණවක
2025 පළාත් පාලන මැතිවරණය සඳහා හෝමාගම මැතිවරණ මෙහෙයුම් මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම හා ප්‍රාදේශීය සභා අපේක්ෂක කණ්ඩායම හඳුන්වා දීම ඊයේ (08) එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් හෝමාගම දී පැවැත්විණ. එහිදී ඔහු අවධාරණය කළේ, හෝමාගම ප්‍රාදේශීය සභාව නව මාවතකට ගෙන යාමට එක්සත් ජනරජ පෙරමුණ සූදානම් බවයි.
පළාත් පාලන මැතිවරණයේ දී වත්මන් රජයට විරෝධය පළ කරන ලෙසත්, පැන්සල ලකුණෙන් ඉදිරිපත් වන එක්සත් ජනරජ පෙරමුණට ඡන්දය දෙන ලෙසත්, රණවක මහතා ඉල්ලා සිටියේ ය.
“හෝමාගම ප්‍රාදේශීය සභාව රටේ විශාලතම ප්‍රාදේශීය සභාව වන අතර, එය ගොඩනැගීමට අපට අත්දැකීම් තිබෙනවා. පාඩු ලබමින් තිබූ ආයතන ගොඩනැගූ පළපුරුද්දක් අප සතුව පවතිනවා. ස්වේච්ඡාවෙන් වැඩ කිරීමට කැපවූ පිරිසක් අප සතුව සිටිනවා. හෝමාගම ප්‍රාදේශීය සභාවේ ආදායම කෝටි 100 සිට 200-300 දක්වා ඉහළ නැංවීමට අපට හැකියි. එම නිසා, පරණ පක්ෂවලට ඡන්දය දීමෙන් පලක් නැහැ. එක්සත් ජනරජ පෙරමුණ, පැන්සල් ලකුණෙන් ඉදිරිපත් වන්නේ අලුත් පිරිසක්, පිරිසිදු පිරිසක්, වැඩ කරන පිරිසක්, කාන්තා නායකත්වය ගෙන ඒමට සහ තරුණ ව්‍යවසායකයින් ඉදිරියට ගෙන ඒමටයි.”
“විදුලි බිල තුනෙන් එකකින් අඩු කරනවා කිව්වා. සහන දෙනවයි කිව්වා. පඩි වැඩි කරනවයි කිව්වා. හොරු අල්ලනවයි කිව්වා. මේ එකක්වත් වුණේ නෑ. ඒ නිසා කරුණාකරලා මෙවර පළාත් පාලන මැතිවරණයේ දී අපේ විරෝධය සටහන් කරන්න කියලා අපි කියනවා.”
හෝමාගම තාක්ෂණ නගරය විසි දහසක් දරුවන්ට තාක්ෂණික අධ්‍යාපනය ලබා දෙන ස්ථානයක් ලෙස ගොඩනැගීමට සැලසුම් කර තිබුණත්, වත්මන් රජය එයට බදු පනවා ඇති බව ඔහු චෝදනා කළේය.
“හෝමාගම තාක්ෂණ නගරය ගෙනාවා විසිදාහක් දරුවන්ට උගන්නලා ඉදිරියට ගෙනියන්න පුළුවන් රට ඉදිරියට ගෙනියන්න පුළුවන් දෙයක් හැටියට. අද ඒ තාක්ෂණයෙන් ධනය උත්පාදනය කරන අයට බදු ගහනවා. අනුර දිසානායක මහත්තයාගේ ආණ්ඩුව. අද තාක්ෂණයෙන් ධනය උත්පාදනය කරන අයට සීයට පහළොවක් බදු ගහනවා උපයන ඩොලර් වලට. අපි හැදුවේ ඒක විසිදාහක් දරුවන්ට තාක්ෂණික අධ්‍යාපනය ලබා දෙන තැනක් හැටියට. වර්ෂයකට පාරට ඇවිල්ලා මේ ලෑලි එල්ලගෙන උපාධිධාරියෝ කඳුළු ගෑස් කකා යනවා වෙනුවට රටට ඩොලර් බිලියන ගාණක් ගෙන එන දැවැන්ත ආර්ථික මධ්‍යස්ථානයක් තමයි අපි එතන ඉදිකරන්න ගියේ.”
එමෙන්ම ජාතික ජන බලවේගයේ හෝමාගම වත්මන් මන්ත්‍රීවරයා විසින් හෝමාගම තාක්ෂණ නගරයෙන් පොල් ගස් ගණනාවකින් පොල් ගෙඩි හාරදාහක් බිම දමා විනාශ කරන බවට චෝදනා කරමින් ගමේ මිනිසුන්ව උසිගැන්වූ බවට චෝදනා කරන ලදී.
එසේම, වත්මන් ආණ්ඩුව පොරොන්දු කඩ කර ඇති බවත්, ජනතාව දැඩි අපහසුතාවයකට පත්ව ඇති බවත් රණවක මහතා චෝදනා කළේය. 2015 දී සිරිසේන ජනාධිපතිවරයා බලයට පැමිණි පසු තමන් ඛනිජ තෙල් ඇමති ලෙස වැඩ භාරගෙන දින 14ක් තුළ පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අඩු කළ බව ඔහු සිහිපත් කළේය. වර්තමාන රජය බලයට පැමිණෙන විට තෙල් මත බදු ඉවත් කරන බවට පොරොන්දු වුවද එය මෙතෙක් ඉටු කර නොමැති බව ඔහු චෝදනා කළේය.
විදුලි බිල තුනෙන් එකකින් අඩු කරන බවට වත්මන් රජය පොරොන්දු වූ නමුත්, ලංකා විදුලිබල මණ්ඩලය පාඩු ලබන බවට ඇමතිවරයා පවසන බව පෙන්වා දුන් රණවක මහතා; ලංකා විදුලිබල මණ්ඩලය පසුගිය වසරේ බිලියන 144 කට අධික ලාභයක් ලබා ඇති බව ද, පෙන්වා දුන්නේය. සූර්ය බලයෙන් නොමිලේ ලැබෙන විදුලිය 50% කපා දමා ගල් අඟුරු මාෆියාවට අවශ්‍ය විදිහට විදුලි බල මණ්ඩලය ගෙන යන බව ද, හෙතෙම විදුලිබල අමාත්‍යවරයා ප්‍රමුඛ රජය වෙත චෝදනා කරන ලදී.
අත්‍යවශ්‍ය ආහාර සඳහා බදු නොගසන බවට පොරොන්දු වුවද, සහල් කිලෝවට රුපියල් 65 ක බද්දක් පනවා ඇති බවත්, එය තවමත් ඉවත් කර නොමැති බවත් ඔහු පැවසීය.
වත්මන් රජය බොරු පවසමින් ජනතාව රවටන බව ඔහු චෝදනා කළේය. “වෙසක් කාඩ් එකක් ගැහුවයි කියලා පියංකර ජයරත්න මහත්තයා අල්ලලා තියෙනවා. මහ බැංකු හොරකමේ අර්ජුන මහේන්ද්‍රන් ගේනවා කිව්වට ගෙනාවේ නැහැ. දේශබන්දු මහත්තයාව අල්ලන්නේ නැහැ. ඔහු පිටිපස්සේ ටිරාන් අලස් ඉන්නවා. අනුර දිසානායක ජනාධිපති උනත් ටිරාන් අලස්ට අත තියන්නෙ නැහැ.” රනිල් වික්‍රමසිංහ මහතා වැනි අයව විවේචනය කරමින් සිටිනවා වෙනුවට, අල් ජසීරා සිදුවීම වැනි දේවලින් ප්‍රචාරක වාසිය ලබා ගන්නවා වෙනුවට ආණ්ඩුව කළ යුත්තේ පාර්ලිමේන්තුවේ නිසි පරිදි නීතිරීති සම්පාදනය කොට, චෝදනා කොට වැරදිකරුවන්ට දඬුවම් පැමිණවීම බව ද හෙතෙම පෙන්වා දෙයි.
ආණ්ඩුවේ රිලා සංගණනය සම්බන්ධයෙන් අදහස් දැක්වූ රණවක මහතා පෙන්වා දුන්නේ, ආණ්ඩුව විසින් ප්‍රචාරයක් ගෙන යමින් සිදු කරන රිලා සංගණනයෙන් පසු ඊළඟ පියවර කුමක්දැයි සඳහන් කළ යුතු බව ය. වගා හානි සිදු කරන සතුන් ප්‍රමාණය දැන ගැනීමෙන් අනතුරුව ඊළඟට ගන්නා ක්‍රියාමාර්ගය සඳහන් කිරීමේ වැදගත්කම ඔහු මෙහිදී අවධාරණය කළේ ය.
මෙහිදී අදහස් දැක්වූ එක්සත් ජනරජ පෙරමුණේ ප්‍රධාන ලේකම් බන්දුල චන්ද්‍රසේකර මහතා;
එක්සත් ජනරජ පෙරමුණේ පැන්සල ලකුණෙන් මෙවර පළාත් පාලන මැතිවරණයේ ආරම්භක කොළඹ දිස්ත්‍රික්කයේ ආරම්භක මැතිවරණ ව්‍යාපාරයේ ආරම්භක අවස්ථාවක් හැටියට අද දින මේ හෝමාගම ප්‍රාදේශීය සභාවට ඒ වගේම මේ ප්‍රදේශයට අද අපි විසින් අප පක්ෂය විසින් ඉදිරිපත් කරන ඒ අපේක්ෂක ලැයිස්තුව අපේ නියෝජිතයින් හඳුන්වා දීමට ඔබ පැමිණිලා තිබෙනවා.
එක්සත් ජනරජ පෙරමුණ හැටියට වේවා අපේ පක්ෂයේ නායකතුමා විදිහට වේවා එතුමා මේ ප්‍රදේශය වෙනුවෙන් කරන ලද සංවර්ධනය, කරන ලද සේවය ඒ සේවය මේ ප්‍රදේශයේ ගම් මට්ටම දක්වා ගෙන යාමේ දී අපි කරන ලද කාර්යභාරය අති විශාලයි. අපි ඒ ශක්තිය ඒ අත්දැකීම මත අද අපි ඔබ තමුන්නාන්සේලාගෙන් ඉල්ලා සිටින්නේ විශේෂයෙන් මේ ප්‍රාදේශීය සභා මැතිවරණයට ඉදිරිපත් වෙලා ජනතාවගේ ආශිර්වාදය, ජනතාවගේ විශ්වාසය දිනාගෙන ඒ ප්‍රාදේශීය සභාව තවත් නව ඉසව්වකට, නව සංවර්ධිත ඉසව්වකට ගෙන යෑමට ඔබ තමුන්නාන්සේලා මූලිකත්වය ගනී. ප්‍රමුඛත්වය ගනියි, ඒ සඳහා ධෛර්යයෙන්, අධිෂ්ඨානයෙන් යුතු වැඩ කරයි කියන බලාපොරොත්තුව අද අපි හැමෝටම ලැබිලා තියෙනවා. ඒ වගේම අපිට පැහැදිලි වුණා ඒ ඒ කොට්ඨාශ වලින් ඉදිරිපත් වන අපේ අපේක්ෂක ලැයිස්තුව වගේම අපේ අතිරේක ලැයිස්තුව තුළත් ඒ සඳහා හැකියාව තියෙන, ඒ සඳහා අත්දැකීම් තියෙන, ඒද සඳහා මහජනතාවගේ දැනටමත්, ඒ ජනතාව වෙනුවෙන්, ජනතාවගේ සුබසාධනය වෙනුවෙන්, ප්‍රජාවගේ සංවර්ධනය වෙනුවෙන්, වැඩ කරපු පිරිසගේ, පිරිසක් තමයි අද තැනට එක් වෙලා තියෙන්නේ. ඒ නිසා අපි හිතනවා මේ මැතිවරණ ව්‍යාපාරය තුළ මොන කුමන පක්ෂයක් මේ ප්‍රදේශයට ඉදිරිපත් වුණත් කුමන ස්වාධීන කණ්ඩායමක් ඉදිරිපත් වුණත් එක්සත් ජනරජ පෙරමුණේ පන්සල ලකුණ යටතේ තරග වදින ඔබ කණ්ඩායම ඉතාමත් ඉදිරියෙන් ජනතා විශ්වාසය දිනාගෙන ඒ ගමන යන්න හැකියාව ලැබෙයි කියන විශ්වාසය අද අපිට පක්ෂයක් හැටියට ඇතිවෙලා තියෙනවා.”
මෙහිදී අදහස් දැක්වූ එක්සත් ජනරජ පෙරමුණේ හෝමාගම සංවිධායක, පළාත් පාලන ආයතන කටයුතු නියෝජ්‍ය ලේකම්, හෝමාගම ප්‍රාදේශීය සභා අපේක්ෂක තරිඳු දිලීප ගමගේ මහතා සඳහන් කළේ මෙවර පළාත් පාලන මැතිවරණයට තම පක්ෂය සූදානම් බවත්, මෙවර මැතිවරණය විශේෂිත මැතිවරණයක් බවත් ය.
මෙවර මැතිවරණයෙන් තම පක්ෂය ජයග්‍රහණය කරන බවත්, තමන් කතාවෙන් නොව ක්‍රියාවෙන් වැඩ කර පෙන්වන බවත් ඔහු එහිදී කියා සිටියේය. තවද, හෝමාගම ප්‍රදේශයේ සංවර්ධනය වෙනුවෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විශාල මෙහෙවරක් කළ බවත්, එම වැඩපිළිවෙළ තවදුරටත් ඉදිරියට ගෙන යාමට තම පක්ෂය සූදානම් බවත් ඔහු පැවසීය.
“අපි මේ මැතිවරණයට එන්නේ කෝඩුකාරයෝ විදිහට නෙමෙයි. අපි මේ මැතිවරණයට ඉදිරිපත් වෙන කවුරුවත් මේ බොහොම ආධුනික මේ දේශපාලනයේ මුකුත් නොදන්න කට්ටිය නෙමෙයි. අපේ නායකයා මේ දේශපාලනයේ පහුගිය දශක දෙකේ මේ රටේ හැරවුම් ලක්ෂ්‍ය නිර්මාණය කරපු දේශපාලනයේ තීරණාත්මක චරිතයක්. ඒ වගේම තමයි අපි මේ අද ඉදිරිපත් වෙලා ඉන්න කණ්ඩායම මෙතනට එන්නේ කතා කරන්න නෙමෙයි. ලස්සන කතන්දර කියලා, ලස්සන වචන කියලා, ඔබව සනසලා ඔබව මුරුංගා අත්තේ තියලා, මේ නිකං ඔබේ ඡන්දය අරන් යන්න නෙමෙයි එන්නේ. සෙල්ලම අපි සෙල්ලම ඉගෙන ගන්න නෙමෙයි මේකට බහින්නේ. සෙල්ලම හොඳට ඉගෙනගෙන තමයි සෙල්ලම් කරන්න බලාගෙන අපි මේකට බහින්නේ.”
තවද, වත්මන් ආණ්ඩුවට එරෙහිව සිය විරෝධය පළ කිරීම සඳහා මෙම මැතිවරණය අවස්ථාවක් කරගත යුතු බවත්, ජනතාව රවටා, බොරු පොරොන්දු දුන් ආණ්ඩුවට සිය පිළිකුල ප්‍රකාශ කිරීමට මෙය සුදුසු අවස්ථාවක් බවත් ඔහු පැවසීය.
“මේ ඡන්දෙන් පස්සේ ආපහු අවුරුදු පහක් යනකන් අපිට ඡන්ද නෑ. ඡන්ද නෑ. ඒ නිසා අපිට අපිව රවට්ටපු, අපිට බොරු කියපු, අපිව අපහසුතාවයට ලක්කරපු, අපේ ඡන්දය පැහැරගත්තු, ඇත්තටම කිව්වොත්, ඒකට වටිනාකමක් දෙන්න ඡන්දයක් බවට, මේ ඡන්දය පත්කරගන්න ඕනේ ආණ්ඩුවට විරුද්ධව. ඒ වෙනුවෙන් අපි සියලු දෙනා දැනුවත් කරන්න ඕනේ. ඒ වෙනුවෙන් කටයුතු කරන්න ඕනේ.”
එමෙන්ම, දක්ෂතාවයට, කුසලතාවයට හා අලුත් අදහස්වලට ඉඩදෙන, හොරකම, බොරුව, වංචාව හා අල්ලස පිටුදකින පිරිසිදු පාලනයක් ස්ථාපිත කිරීම තම පක්ෂයේ අරමුණ බවත්, ඒ සඳහා පැන්සල් ලකුණට ඡන්දය ලබාදෙන ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
“හැකියාවට, දක්ෂතාවයට කුසලතාවයට අලුත් අදහස් වලට ඉඩදෙන පැන්සල ලකුණේ පාලනයක් අපි ගේන්න ඕනේ. පිරිසිදු පාලනයක් අපි ගේන්න ඕනේ. විනිවිදභාවයෙන් වැඩ කටයුතු කරන්න පුළුවන් පාලනයක් අපි ඇති කරන්න ඕනේ. ඒ පැන්සල, ලකුණේ පිරිසිදු පාලනයක් වෙනුවෙන්
වරෙල්ලා වරෙල්ලා. වැඩ්ඩන්ගේ වාරය ඇවිල්ලා. ජයවේවා!”
මෙම ජන හමුව සඳහා එක්සත් ජනරජ පෙරමුණේ ජ්‍යෙෂ්ඨ උපසභාපති, විශ්‍රාමික මේජර් ජෙනරාල් තිලක් උභයවර්ධන මහතා ඇතුළු පක්ෂයේ නිලධාරීන්, ක්‍රියාකාරිකයන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටිය හ.