අකුරේගොඩ නීතිඥ යුවළ ඝාතනය: සහාය දුන් සහෝදරයන් දෙදෙනෙකු දැලේ!

තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව, වෙඩික්කරුවන්ට ගිනිඅවි ප්‍රවාහනය කර දෙමින් ආධාර අනුබල දුන් බව කියන 20 සහ 24 වයස්වල පසුවන සහෝදරයන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. නාවගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මොවුන් දෙදෙනා පෙබරවාරි 16 වනදා කොට්ටාව ප්‍රදේශයේදී මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට පත්ව තිබේ. සැකකරුවන් විසින් නීතිඥවරයා සිටින ස්ථානය පිළිබඳ තොරතුරු ලබාදෙමින් ඝාතකයින්ට මග පෙන්වා ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.​සීසීටීවී දර්ශන ඔස්සේ සිදුකළ පරීක්ෂණවලට අනුව, ඝාතනය සඳහා යොදාගත් ගිනිඅවි ප්‍රවාහනය කර ඇත්තේ මෙම සැකකරුවන් විසින් දින හතකට කුලියට ගත් මෝටර් රථයකිනි. විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් වන “ටූටූ” හෙවත් තරිඳු මධුසංඛ සහ “මෝදර නිපුණ” යන අයගේ උපදෙස් මත මොවුන් කොට්ටාව ප්‍රදේශයෙන් මෙම කළු පැහැති මෝටර් රථය කුලියට ගෙන ඇත. අනතුරුව කොටිකාවත්ත ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයකින් රැගෙන ආ ගිනිඅවි පාර්සලයක් ලබාගෙන, ඝාතනය සිදුවූ දිනට පැය කිහිපයකට පෙර අකුරේගොඩ සුපිරි වෙළඳසැලක් අසලදී එය ඝාතකයින් වෙත භාරදී ඇති බව පොලිසිය පවසයි.​ඝාතනයට සතියක පමණ පෙර සිටම මෙම සැලසුම පිළිබඳව සැකකාර සහෝදරයන් දැනුවත්ව සිට ඇති අතර, ඔවුන් නීතිඥවරයාගේ දෛනික ගමන් බිමන් නිරීක්ෂණය කර තිබේ. සිද්ධිය වූ දින නීතිඥවරයාගේ රථය සුපිරි වෙළඳසැල් රථගාලේ නවතා ඇති බවට වෙඩික්කරුවන්ට තොරතුරු ලබා දී ඇත්තේද මොවුන්ය. ඝාතනයෙන් පසු වෙඩික්කරුවන් හෝකන්දර දෙසට පලා ගොස් ඇති අතර, ඝාතනය සඳහා පැමිණි එක් වෙඩික්කරුවෙකුට පන්නිපිටිය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් පහසුකම් සහ අයිස් මත්ද්‍රව්‍ය ලබාදීමටද මෙම සැකකරුවන් කටයුතු කර ඇත.​මෙම අපරාධය සඳහා සහාය වීම වෙනුවෙන් සැකකරුවන්ට මුදල් ලැබී නොමැති අතර, ඒ වෙනුවට ඔවුන්ට මත්ද්‍රව්‍ය ලබාදී ඇති බවත්, ඔවුන් මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවීමට සම්බන්ධ වී ඇති බවත් පොලිසිය පවසයි. ඝාතනය සඳහා පැමිණි පිරිස භාවිතා කර පසුව ගිනි තබා තිබූ මෝටර් රථය ගාල්ල, බද්දේගම ප්‍රදේශයේ දමා ගොස් තිබියදී සොයා ගැනුණි. 44 හැවිරිදි නීතිඥ බුද්ධික මල්ලවාරච්චි සහ 42 හැවිරිදි ඩබ්ලිව්.ඒ. නිසංසලා යන යුවළගේ අවසන් කටයුතු නීතිඥ ප්‍රජාවගේ සහ ඥාතීන්ගේ සහභාගීත්වයෙන් පසුගිය සඳුදා පිටිගලදී සිදු කෙරිණි.

What's your reaction?

Related Posts

1 of 1,016

Leave A Reply

Your email address will not be published. Required fields are marked *