අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගිය මාර්තු 15 වැනිදා තංගල්ල නගර සභා ශාලාවේ පැවති රැස්වීමට සහභාගී නොවූ ගුරුවරුන්ගෙන් කරුණු විමසමින් තංගල්ල කලාප අධ්‍යාපන කාර්යාලය නිකුත් කළ නිවේදනය හම්බන්තොට දිස්ත්‍රික් ලංකා ගුරු සංගමය දැඩි ලෙස හෙළා දැක තිබේ. අදාළ රැස්වීමට නොපැමිණි හේතු අද (26) දිනට පෙර ඉදිරිපත් කරන ලෙස දන්වමින් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් සියලුම විදුහල්පතිවරුන් වෙත ලිඛිත දැනුම් දීමක් කර ඇත. මෙම ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම සංගමය පවසන්නේ, නිවාඩු දිනයක් වන ඉරිදා දිනක මෙලෙස ගුරුවරුන් කැඳවීමට හෝ ඔවුන්ගෙන් නිදහසට කරුණු විමසීමට කලාප කාර්යාලයට කිසිදු නීත්‍යානුකූල බලයක් නොමැති බවයි.මාධ්‍ය වෙත අදහස් දැක්වූ හම්බන්තොට දිස්ත්‍රික් ලංකා ගුරු සංගමයේ ලේකම් සුරංග චින්තක මහතා අවධාරණය කළේ, ඉරිදා දිනයක ගුරුවරුන් කැඳවීම කිසිසේත්ම ප්‍රායෝගික නොවන බවයි. නව යුගයක් උදා කිරීම වෙනුවෙන් කැපවී කටයුතු කළ ගුරුවරුන් වෙතම මෙලෙස පළමු ප්‍රහාරය එල්ල වීම කණගාටුදායක බව පැවසූ ඔහු, ගුරුවරුන්ගේ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින බවද ප්‍රකාශ කළේය. දේශපාලන රැස්වීම් හෝ දැනුවත් කිරීම් සඳහා ගුරුවරුන් බලහත්කාරයෙන් යොදා ගැනීමට දරන මෙවැනි උත්සාහයන්ට එරෙහිව සිය සංගමය දැඩිව පෙනී සිටින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
























