අගමැතිනියට එරෙහි විශ්වාසභංගය: විවාදයට රජය සූදානම්!

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියට එරෙහිව විපක්ෂය විසින් සූදානම් කරනු ලබන විශ්වාසභංග යෝජනාව පිළිබඳව විවාද කිරීම සඳහා මෙම සතියේ පාර්ලිමේන්තු කාලය වෙන් කිරීමට රජය සූදානම් බව සභානායක, අමාත්‍ය බිමල් රත්නායක මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ඒ අනුව ලබන ජනවාරි 22 සහ 23 යන දෙදින සම්පූර්ණයෙන්ම මෙම විශ්වාසභංග යෝජනාව වෙනුවෙන් වෙන් කිරීමට රජය කැමැත්තෙන් පසුවන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.​අග්‍රාමාත්‍යවරියට සහ අග්‍රාමාත්‍ය ධුරයට එරෙහිව විශ්වාසභංගයක් සූදානම් කිරීම ඉතා බරපතළ කරුණක් බවත්, අත්සන් ලබාගනිමින් පවතින බව කියන මෙම යෝජනාව මෙතෙක් ඉදිරිපත් නොකිරීම ගැටලුවක් බවත් අමාත්‍ය රත්නායක මහතා මෙහිදී පෙන්වා දුන්නේය. එමනිසා විපක්ෂය මෙම විශ්වාසභංගය ඉදිරිපත් කරන්නේද නැද්ද යන්න පිළිබඳව පැහැදිලි ප්‍රකාශයක් බලාපොරොත්තු වන බව ඔහු පැවසීය. මේ හරහා රටේ ස්ථාවරත්වයට බලපෑම් එල්ල වන බැවින්, වහාම එය ඉදිරිපත් කරන ලෙස ඔහු විපක්ෂයෙන් ඉල්ලා සිටියේය.​මෙයට ප්‍රතිචාර දැක්වූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේ, මෙය විපක්ෂයට අදාළ කරුණක් වන බැවින් ඒ පිළිබඳව අවශ්‍ය සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව තීරණයක් ගන්නා බවයි.

What's your reaction?

Related Posts

1 of 975

Leave A Reply

Your email address will not be published. Required fields are marked *