අගමැතිනියට එල්ල වන ස්ත්‍රී විරෝධී ප්‍රහාරවලට එරෙහිව දැඩි විරෝධයක්!

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය ඉලක්ක කරගනිමින් එල්ල වන ලිංගික ස්වභාවයේ අපහාසාත්මක සහ ස්ත්‍රී විරෝධී ප්‍රහාරයන්, කාන්තාව හා මාධ්‍ය සාමූහිකය (WMC) ඇතුළු පුද්ගලයින් 188 දෙනෙකු සහ සංවිධාන 27ක් එක්ව දැඩි ලෙස හෙළා දැක තිබේ. 6 ශ්‍රේණිය ඉංග්‍රීසි පෙළපොත් මොඩියුලයක සිදු වූ දෝෂයක් මුල් කරගනිමින් තීව්‍ර වූ මෙම හිරිහැර කිරීම්, හුදු විවේචනයන් නොව ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කරගත් දේශපාලන ප්‍රචණ්ඩත්වයක් බවත්, එමඟින් කාන්තාවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී සහභාගීත්වය අඩපණ කරන බවත් ඔවුන් පෙන්වා දෙයි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල වගවීම පිළිබඳ ගැටලු, ස්ත්‍රී විරෝධී අපහාසයන් සාධාරණීකරණය කිරීම සඳහා අවියක් ලෙස භාවිතා නොකළ යුතු බව WMC අවධාරණය කරයි.​ලිංගික ස්වභාවයේ හිරිහැර කිරීම් දේශපාලන විවේචනයක් නොවන බවත්, චරිත ඝාතනය කිරීම ප්‍රජාතන්ත්‍රවාදී මැදිහත්වීමක් ලෙස සැලකිය නොහැකි බවත් එම සංවිධානය පෙන්වා දෙයි. දේශපාලනයේ නියැලෙන කාන්තාවන් සම්බන්ධයෙන් සමාජය අනුගමනය කරන දෙබිඩි පිළිවෙත මෙහිදී ප්‍රශ්න කර ඇති අතර, මෙම මඩ මෙහෙයුම සඳහා ඇතැම් දේශපාලන ක්‍රියාකාරීන්, පුරවැසියන් සහ මාධ්‍ය ආයතන අවස්ථාවාදී ලෙස සම්බන්ධ වීමද ඔවුන්ගේ දෝෂදර්ශනයට ලක්ව ඇත. මෙම ප්‍රහාර හුදෙකලා සිදුවීම් නොව, කාන්තාවන් බිය ගැන්වීමට සහ ඔවුන්ගේ නායකත්වය අවම තක්සේරු කිරීමට හිතාමතා සිදුකරන දේශපාලන ක්‍රියාවන් බව ප්‍රකාශයේ සඳහන් වේ.​ශ්‍රී ලංකාව විසින් අපරානුමත කර ඇති CEDAW සහ ICCPR වැනි ජාත්‍යන්තර සම්මුතීන් යටතේ, කාන්තාවන්ට එරෙහි වෙනස්කොට සැලකීම් තුරන් කිරීමටත්, බියෙන් තොරව පොදු ජීවිතයට සහභාගී වීමට ඇති අයිතිය තහවුරු කිරීමටත් රජය බැඳී සිටින බව WMC මතක් කර දෙයි. ඒ අනුව, අන්තර්ජාලය හරහා හෝ ඉන් බැහැරව සිදුවන මෙවැනි දේශපාලන ප්‍රචණ්ඩත්වයන් වැළැක්වීමටත්, ඒවා විමර්ශනය කර වැරදිකරුවන්ට දඬුවම් කිරීමටත් රජය පියවර ගත යුතු බව ඔවුහු ඉල්ලා සිටිති. තවද, කාන්තා නියෝජිතවරියන් ආරක්ෂා කිරීමට දේශපාලන පක්ෂ පියවර ගත යුතු අතර, හානිකර අන්තර්ගතයන් වහාම ඉවත් කිරීමට ඩිජිටල් වේදිකා කටයුතු කළ යුතුය. අග්‍රාමාත්‍යවරිය ඇතුළු සියලුම කාන්තා නායකත්වයන් සමඟ තමන් පෙනී සිටින බව පවසන කාන්තාව හා මාධ්‍ය සාමූහිකය, කාන්තා දේශපාලන සහභාගීත්වය ආරක්ෂා කිරීම අත්‍යවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී වගකීමක් බව ප්‍රකාශ කරයි.

What's your reaction?

Related Posts

1 of 944

Leave A Reply

Your email address will not be published. Required fields are marked *