අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගෙන් හරිත රැකියා සඳහා නව අධ්‍යාපන දැක්මක්

දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දෙන සහ හරිත රැකියා සඳහා සුදුසු තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපන පද්ධතියක් (TVET) සකස් කිරීමේ අරමුණින් පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) කොළඹදී ආරම්භ විය. පිලිපීනයේ කොළඹ සැලසුම් මාණ්ඩලික විද්‍යාලය (CPSC) සහ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව සංවිධානය කළ මෙම සමුළුවට භූතානය, ෆීජි, මැලේසියාව, මාලදිවයින ඇතුළු කලාපීය රටවල් රැසක නියෝජිතයෝ සහභාගී වූහ. මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළේ හුදෙක් දැනුම ලබාදීමෙන් ඔබ්බට ගොස්, පුද්ගල ගෞරවය සුරැකෙන සහ සමාජයට අර්ථවත් දායකත්වයක් ලබාදිය හැකි ප්‍රායෝගික කුසලතාවලින් තාරුණ්‍යය සන්නද්ධ කිරීම රජයේ ප්‍රමුඛතාවක් බවයි.​හරිත ආර්ථිකයකට අවශ්‍ය කුසලතා අධ්‍යාපන විෂය මාලාවන්ට ඇතුළත් කිරීමේ වැදගත්කම පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, නවීන පුහුණු පහසුකම් සඳහා ආයෝජනය කිරීම සහ කර්මාන්ත ක්ෂේත්‍රය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාව ද පැහැදිලි කළාය. විශේෂයෙන්ම මෙම නව රැකියා අවස්ථාවන් තරුණ තරුණියන්ට, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට සහ සමාජයේ කොන්වූ කණ්ඩායම්වලට සමාන ලෙස විවෘත විය යුතු බව ඇය ප්‍රකාශ කළාය. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා ඇතුළු දෙස් විදෙස් නිලධාරීන් රැසක් සහභාගී වූ මෙම පස්දින කලාපීය වැඩසටහන හරහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමට අපේක්ෂා කරයි.

What's your reaction?

Related Posts

1 of 1,064

Leave A Reply

Your email address will not be published. Required fields are marked *