අදානි සමාගම සමග සිදුකිරීමට නියමිතව තිබූ සුලං බලවිදුලි ව්‍යාපෘතිය තවමත් අවලංගු කර නැහැ – විදුලිබල ඇමති

අදානි සමාගම සමග සිදුකිරීමට නියමිතව තිබූ සුලං බලවිදුලි ව්‍යාපෘතිය තවමත් අවලංගු කර නොමැති බව බලශක්ති  අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පැවසීය.


අමාත්‍යවරයා මේ බව පැවසුවේ දසවැනි පාර්ලිමේන්තුවේ පළමුවන සභාවාරයේ පළමු බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීම ඒ මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (06) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.
මෙහිදී කාරක සභාවට සහභාගී වූ  මන්ත්‍රීවරුන් මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේදී  අමාත්‍ය කුමාර ජයකොඩි මහතා මේ බව පැවසූ අතර වැඩිදුරටත් අදහස් දක්වමින් හෙතෙම පෙන්වා දුන්නේ අදානි සමාගමේ විදුලි ව්‍යාපෘතියේ මිල ගණන් වැඩි බැවින් ඒ පිළිබඳ නැවත සමාලෝචනය කිරීමට කැබිනට් මණ්ඩලයට යොමු කළ බවත් එම අවස්ථාවේදී ඉන්දීය අදානි මව් සමාගම විසින් මෙම ව්‍යාපෘතියෙන් තමන් ඉවත්වන බව දන්වමින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට ලිපියක් ලැබී තිබුණු බවත් මේ අනුව ආයෝජන මණ්ඩලය විසින් ඒ පිළිබඳ අමාත්‍යාංශය දැනුවත් කළ බවත් ය. නමුත් සුලං බල විදුලි ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සාකච්ඡා කළේ ලංකාවේ අදානි සමාගමේ නියෝජිත ආයතනය සමගින් බවත් මේ නිසා මේ සම්බන්ධයෙන් සලකා බලන ලෙස එම ආයතනය දැනුවත් කොට ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. එබැවින් ලිපිය යවා සති දෙකක් ඇතුළත මේ සම්බන්ධයෙන් පිළිතුරක් අපේක්ෂිත බව ගරු අමාත්‍ය කුමාර ජයකොඩි මහතා මෙහිදී පැවසීය.
මේ නිසා මෙම සති දෙක ඇතුළත සෘණාත්ම පිළිතුරක් ලැබුණහොත් පමණක් වෙනත් විකල්පයකට යොමු වීමට සිදුවන බව හෙතෙම තවදුරටත් පෙන්වා දුන් අතර ඉදිරියේදී මෙවැනි ව්‍යාපෘතිවලදී රජයන් අතර ගිවිසුම් (G2G) සහ තරඟකාරී ප්‍රසම්පාදනය හරහා පමණක් සිදුකිරීමට සැලසුම්කොට ඇති බවත් පැවසීය.
තවද මෙහිදී ඉංජිනේරුවරුන් ඇතුළුව ලංකා විදුලි බල මණ්ඩලයේ පවතින පුරප්පාඩු පිරවීම සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳවද අවධානය යොමු වූ අතර පැමිණි නිලධාරීන් පෙන්වා දුන්නේ ආර්ථික අර්බුදය පැවති කාලසීමාවේදී බොහෝ ඉංජිනේරුවන් විදෙස්ගතවී ඇති බවත් මේ නිසා පුරප්පාඩු පවතින බවත්ය. නමුත් පසුගියදා කොටස් 3ක් වශයෙන් මෙම පුරප්පාඩු පිරවීම සඳහා කැබිනට් අනුමතිය ලැබී ඇති බවත් එහි පළමු කණ්ඩායම ඉදිරියේදී බඳවාගැනීමට කටයුතු කරන බවත් නිලධාරීහු වැඩිදුරටත් පෙන්වා දුන්හ.
එසේම මෙහිදී හදිසි විදුලි බිඳවැටීම් සම්බන්ධයෙන්ද සාකච්ඡා වූ අතර පැමිණි නිලධාරීන් පෙන්වා දුන්නේ පද්ධතියේ ඇතිවන සුළු වෙනසකදී පවා පද්ධතියම අස්ථාවර වීමේ හැකියාවක් පවතින බවයි. මේ නිසා සූර්ය බලශක්තිය වැනි අනෙකුත් බලශක්ති ප්‍රභවයන් යොදාගනිමින් පද්ධතිය ස්ථාවරව පවත්වාගෙන යාමට මේ දිනවල උත්සාහ කරන බව ඔවුහු පෙන්වා දුන්හ.
තවද වීදි ලාම්පු ප්‍රමාණවත් ආකාරයෙන් නඩත්තු නොවීම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු වූ අතර වීදි ලාම්පු සම්බන්ධයෙන් පළාත් පාලන ආයතන සහ විදුලිබල මණ්ඩලය එක්ව කටයුතු කිරීම අවශ්‍යතාවය කාරක සභාව විසින් අවධාරණය කරන ලදි. විශේෂයෙන්ම මෙය ජාතික වශයෙන් අත්‍යවශ්‍ය කරුණක් වන බැවින් පළාත් පාලන ආයතන සහ විදුලිබල මණ්ඩලය එක්ව සාකච්ඡා කිරීම සුදුසු බව කාරක සභාව පෙන්වා දුන්නේය. එසේම මේ සම්බන්ධයෙන් මාස 2ක් ඇතුළත ප්‍රතිපත්තිය සකස්කොට අවසන් කරන බව අමාත්‍යවරයා පැවසීය.
එසේම පළාත්, දිස්ත්‍රික්ක සහ ප්‍රාදේශීය වශයෙන් මෙම අමාත්‍යාංශයට අදාළ කරුණු සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරුණි.
මෙම කාරක සභා රැස්වීම සඳහා කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරු ඇතුළු ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහභාගී වූහ.

What's your reaction?

Related Posts

1 of 611

Leave A Reply

Your email address will not be published. Required fields are marked *