රජය ක්‍රියාත්මක කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා සිය පූර්ණ සහාය පළ කරන අතරම, අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ඉලක්ක කර ගනිමින් විපක්ෂයේ ඇතැම් කණ්ඩායම් සහ පුද්ගලයන් එල්ල කරන ප්‍රහාර දැඩි ලෙස හෙළා දකිමින් විද්වතුන්, වෘත්තිකයන් සහ සමාජ ක්‍රියාකාරීන් පිරිසක් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කර තිබේ. මෙම ප්‍රහාර ද්වේෂසහගත, අශිෂ්ට සහ ශිෂ්ට සම්පන්න සමාජයකට නිග්‍රහයක් බව පෙන්වා දෙන ඔවුන්, මෙවැනි ක්‍රියා මගින් කාන්තා දේශපාලන නායකත්වය අවම කරන අතර අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ සඳහා පවතින අවකාශය අහුරන බවටද අනතුරු අඟවයි. ජාතික ජන බලවේගයේ අධ්‍යාපන ප්‍රතිපත්තිය මත පදනම් වූ, අධ්‍යාපනය යනු හුදු භාණ්ඩයක් නොව මානව ගුණාංගවලින් සපිරි ශිෂ්ට සම්පන්න පුරවැසියන් බිහි කරන ක්‍රියාවලියක් විය යුතු බව එම ප්‍රකාශය අවධාරණය කරයි.අධ්‍යාපනයේ සමාන ප්‍රවේශය තහවුරු කිරීම, වරප්‍රසාද ලත් සහ නැති කණ්ඩායම් අතර පරතරය නැති කිරීම, අධ්‍යාපනය සඳහා රජයේ වගකීම තහවුරු කිරීම සහ සංස්කෘතික විවිධත්වයට ගරු කරන පුරවැසියන් බිහි කිරීම වැනි ප්‍රමුඛතා මෙම කණ්ඩායම විසින් පෙන්වා දී ඇත. එසේම, ජාතික අධ්‍යාපන ආයතනය (NIE) සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්ත්වයන් ගැන අවධානය යොමු කරමින්, 1-6 ශ්‍රේණිවල පෙළපොත් ස්වාධීන යාන්ත්‍රණයක් හරහා සමාලෝචනය කරන ලෙසත්, එම ආයතනය ප්‍රතිව්‍යුහගත කරන ලෙසත් ඔවුන් රජයෙන් ඉල්ලා සිටියි. ගුරු සංගම් ඇතුළු පාර්ශ්වකරුවන් සමඟ විනිවිදභාවයෙන් යුතුව සාකච්ඡා පවත්වන ලෙසත්, අධ්‍යාපන වියදම දළ දේශීය නිෂ්පාදිතයෙන් 6% දක්වා ඉහළ නංවන ලෙසත් එහි වැඩිදුරටත් සඳහන් වේ.මීට අමතරව, පුද්ගල අනන්‍යතාවයන් සහ ලිංගිකත්වය හෑල්ලුවට ලක් කරමින් සිදු කෙරෙන ද්වේෂසහගත ප්‍රකාශයන්ට එරෙහිව රජය තීරණාත්මක ලෙස මැදිහත් විය යුතු බව මෙම විද්වත් පිරිස අවධාරණය කරති. මහාචාර්ය ජයදේව උයන්ගොඩ, මහාචාර්ය ජගත් වීරසිංහ, මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි ඇතුළු විද්වතුන් සහ වෘත්තිකයන් රැසක් මෙම නිවේදනයට අත්සන් තබා ඇති අතර, අධ්‍යාපනයේ පරිවර්තනීය දැක්ම සඳහා මහජනතාවගේ සහ වෘත්තීය ප්‍රජාවගේ ශක්තිමත් සහාය අඛණ්ඩව පවතින බව ඔවුහු සිහිපත් කරති.


























