අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රිවස් කළේ ආණ්ඩුවයි – විධිමත් පද්ධතියකට සජබ පූර්ණ සහාය

වත්මන් රජය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට ගොස් එය “හත්පොළේ ගාගෙන” ඇති බවත්, අවසානයේ එම ප්‍රතිසංස්කරණ හකුලා ගැනීමට සිදුව ඇත්තේ ආණ්ඩුවේම අදූරදර්ශී ක්‍රියාකලාපය නිසා බවත් සමගි ජන බලවේගය අවධාරණය කරයි. කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කෝට්ටේ නාගරික මන්ත්‍රී චමත් විජේසුන්දර මහතා සහ සමගි අධ්‍යාපන සම්මේලනයේ සභාපති ප්‍රියන්ත පත්බේරිය මහතා මේ බව සඳහන් කළහ.​මෙහිදී අදහස් දැක්වූ චමත් විජේසුන්දර මහතා පෙන්වා දුන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගි ජන බලවේගය කිසිසේත්ම විරුද්ධ නොවන බවයි. සජිත් ප්‍රේමදාස මහතා 2019 වසරේ සිටම සුහුරු පන්තිකාමර සහ තාක්ෂණික අධ්‍යාපනය වෙනුවෙන් පෙනී සිටි බවත්, එදා ඔහු පාසල්වලට උපකරණ බෙදන විට උපහාසයට ලක් කළ පිරිස් අද ප්‍රතිසංස්කරණ ගැන කතා කිරීම හාස්‍යයට කරුණක් බවත් ඔහු පැවසීය.​පෙළ පොත්වල ධර්මචක්‍රය වැරදියට මුද්‍රණය කිරීම සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල පවතින දෝෂ පිළිබඳව සජිත් ප්‍රේමදාස මහතා සහ මහා සංඝරත්නය පෙන්වා දෙන තෙක් ආණ්ඩුව ඒ පිළිබඳව දැනුවත්ව නොසිටි බවද මන්ත්‍රීවරයා චෝදනා කළේය. “අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මතභේද තිබෙන්නේ ආණ්ඩුව තුළමයි. අගමැතිවරියට එරෙහිව විශ්වාසභංගයක් ගේන්න කියලා ආණ්ඩුවේම පිරිස් කියන මට්ටමට අද පාලනය පිරිහිලා,” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.​සමගි අධ්‍යාපන සම්මේලනයේ සභාපති ප්‍රියන්ත පත්බේරිය මහතා අදහස් දක්වමින් කියා සිටියේ, අවශ්‍ය යටිතල පහසුකම් සහ ගුරු පුහුණුව ලබාදීමකින් තොරව අධ්‍යාපන පරිවර්තනයක් කළ නොහැකි බවයි. ජාතික අධ්‍යාපන ආයතනයේ සිටි උගතුන් ඉවත් කර ප්‍රතිසංස්කරණ කිරීමට යාමෙන් සමස්ත පද්ධතියම අවුලකට ලක්ව ඇති බවත්, මාලිමාව කලබලයට සිදුකළ මෙම ක්‍රියාවලිය හේතුවෙන් රටේ දරුවන් අගතියට පත්ව ඇති බවත් ඔහු සඳහන් කළේය. විධිමත් අධ්‍යයනයකින් පසු නිවැරදි කිරීම් සිදු කර ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යන්නේ නම් ඒ සඳහා සජබ පූර්ණ සහාය ලබාදෙන බවද ඔහු මෙහිදී සහතික විය.

What's your reaction?

Related Posts

1 of 981

Leave A Reply

Your email address will not be published. Required fields are marked *