ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ජූලී ජියූන් චුන්ග් මහත්මිය, දෙරට අතර අධ්‍යාපන හා සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය හමුවිය. තානාපති චුන්ග් මහත්මිය, රටවල් 160කට අධික සංඛ්‍යාවක සිසුන්ට සහ විද්වතුන්ට අධ්‍යයනය කිරීමට, ඉගැන්වීමට, පර්යේෂණ කිරීමට සහ සංස්කෘතික අවබෝධය ප්‍රවර්ධනය කිරීමට අවස්ථාව සලසන ෆුල්බ්‍රයිට් ජාත්‍යන්තර හුවමාරු වැඩසටහන (Fulbright International Exchange Program) ඇතුළු පීස් කෝප්ස් (Peace Corps) මුලපිරීම් සහ අනෙකුත් සහයෝගීතා වැඩසටහන්වල ප්‍රගතිය ඉස්මතු කළාය. අග්‍රාමාත්‍ය ආචාර්ය අමරසූරිය මහත්මිය, දැනට ක්‍රියාත්මක අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා සහාය වීම පිණිස අධ්‍යාපන අමාත්‍යාංශය, විභාග දෙපාර්තමේන්තුව සහ ජාතික අධ්‍යාපන ආයතනය වෙත තාක්ෂණික විශේෂඥ දැනුමේ අවශ්‍යතාව අවධාරණය කළාය. විභාග කේන්ද්‍රීය ක්‍රමවේදයකින් විධිමත්, සහයෝගී ඉගෙනුම් පරිසරයක් වෙත මාරුවීමට දරන උත්සාහය ඇය ඉස්මතු කළ අතර, රටේ මානව සංවර්ධන ප්‍රමුඛතා සමඟ සමපාත වන විද්වතුන් සංවර්ධනය කිරීමේ වැදගත්කම අවධාරණය කළාය. දෙපාර්ශ්වයේම ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම හමුවට සහභාගී වූහ. එක්සත් ජනපද නියෝජිත පිරිසට මහජන කටයුතු නිලධාරීනී මෙනකා නයියාර් මහත්මිය, එක්සත් ජනපද-ශ්‍රී ලංකා ෆුල්බ්‍රයිට් කොමිසමේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පැට්‍රික් මැක්නමාරා මහතා සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය සහ නවක වදය වැළැක්වීමේ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මහාචාර්ය ප්‍රභා මනුරත්න මහත්මිය ඇතුළත් විය. ශ්‍රී ලංකා දූත පිරිසට අග්‍රාමාත්‍යවරයාගේ අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත මහත්මිය සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ යුරෝපා හා උතුරු ඇමරිකානු අංශයේ අධ්‍යක්ෂිකා ප්‍රමුදිතා මනුසිංහ මහත්මිය ඇතුළත් විය.

























