අධිකරණයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට දෝස් මුරයක්

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සිදුකරන විමර්ශන පිළිබඳ අධිකරණයට කිසිසේත් සෑහීමකට පත්විය නොහැකි බව කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් නිපුණ ගුණසේන විවෘත අධිකරණයේදී ප්‍රකාශ කර තිබෙනවා.

මහේස්ත්‍රාත්වරයා මෙම ප්‍රකාශය සිදු කළේ කහටගස්දිගිලිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් කල් ඉකුත් වූ සහල් කිලෝ එක්ලක්ෂ හැත්තෑ පන්දහසකට අධික ප්‍රමාණයක් පිරිසිදු කර නැවත අසුරා කල් ඉකුත් වීමේ දිනය වංචනික ලෙස වෙනස් කර වෙළඳපොළට මුදා හැරීමේ සිද්ධියට අදාළව නඩුව යළි කැඳවූ අවස්ථාවේදීයි.

නඩුව කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන්ගෙන් විමසා සිටියේ මෙම සිද්ධියට අදාළ සැකකරුවන්ට අධිකරණය මගින් ඇප ලබා දුනහොත් මහජන කැලඹීමක් ඇතිවීමට ඉඩක් තිබේද යන්නයි.

ඊට ප්‍රතිචාර දක්වමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ සැකකරුවන්ට ඇප නියම කළහොත් කිසිදු මහජන කැළඹීමක් ඇති නොවන බවයි.

එමෙන්ම මහේස්ත්‍රාත්වරයා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන්ගෙන් තවදුරටත් විමසා සිටියේ සැකකරුවන්ට ඇප නියම කළහොත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට බාධාවක් එල්ල විය හැකිද යන්නයි.

එහිදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ සැකකරුවන්ට ඇප ලබා දීම තුළින් විමර්ශනවලට කිසිදු බාධාවක් ඇති නොවන බවයි.

මේ අතර නඩුව කැඳවූ අවස්ථාවේදී සහල් තොගය ප්‍රවාහනය කළ ලොරි රථයක අයිතිකරු වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ වර්තමානයේ අපහට ජීවත් වීමට සිදුව ඇත්තේ බෙහෙත් වෙනුවට වතුර විදින රටක සහ බත් වෙනුවට කුකුළු ආහාර කෑමට ලබාදෙන රටක බවයි.

මෙම කූඨ ජාවාරමේ සැබෑ සැකකරුවන් ලොරි රථවල අයිතිකරුවන් හෝ රියදුරන් නොවන බවත් සැකකරුවන් ලෙස නම් කළ යුතුව ඇත්තේ ලෝක ආහාර වැඩසටහනේ ඉහළ බලධාරීන් මෙන්ම රජයේ ඉහළ නිලධාරීන් බවත් නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නා.

එමෙන්ම ඒ බව තහවුරු කිරීමට අදාල ලේඛන තමා ඉදිරියේදී ඉදිරිපත් කරන බවද ඔහු කියා සිටියා.

මේ අතර සහල් තොගය පිරිසුදු කිරීම භාරගත් බව කියන කහටගස්දිගිලය සහල් මෝලේ අයිතිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයාද අධිකරණයට කරුණු දක්වා සිටියා.

ඔහු කියා සිටියේ සහල් පිරිසිදු කර නැවත ඇසුරුම් කර, කල් ඉකුත් වීමේ දිනය තවත් ඉදිරියට මසක් යොදා වේයන්ගොඩ ආහාර කොමසාරිස් ගබඩාවට භාරදෙන ලෙස දැනුම් දී ඇත්තේ ලෝක ආහාර වැඩසටහනේ මෙරට නියෝජිත අබ්දුල් රහිම් සිද්ධික් යන තැනැත්තෙක් බවයි.

කහටගස්දිගිලිය ප්‍රදේශයේදී සහල් මෝලක් වෙත ලොරි රථ 8 කින් ප්‍රවාහනය කරමින් තිබූ කල් ඉකුත් වූ සහල් කිලෝ එක් ලක්ෂ හැත්තෑ පන්දහසක් පසුගියදා සොයා ගත්තා.

පසුව අනාවරණය වූයේ මෙම සහල් තොගය ලෝක ආහාර වැඩසටහන යටතේ ජනතාවට නොමිලේ ලබා දෙන සහල් තොගයක් බවටයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *