කොළඹ අංක 02 අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ තම පියා සාක්ෂි ලබා දෙන ආකාරය ජංගම දුරකථනයෙන් වීඩියෝ කළ තරුණියකට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (පෙබරවාරි 24) රුපියල් 10,000ක දඩයක් නියම කළේය. කොළඹ ප්‍රදේශයේ පදිංචිකාරියක වන මෙම තරුණිය, කිසිදු අවසරයකින් තොරව අධිකරණ කටයුතු පටිගත කරමින් සිටියදී රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙකු විසින් අත්අඩංගුවට ගෙන කේසෙල්වත්ත පොලිසියට භාර දී තිබුණි. අද දින නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකාරිය වරද පිළිගත් අතර, එහිදී ඇයට දඩ නියම කළ මහේස්ත්‍රාත්වරයා මෙවැනි නීති විරෝධී ක්‍රියාවලින් වැළකී සිටින ලෙස දැඩිව අවවාද කළේය. එමෙන්ම ඇයගේ ජංගම දුරකථනයේ තිබූ අදාළ වීඩියෝ දර්ශන මකා දමන ලෙසද අධිකරණය මෙහිදී නියෝග කර සිටියේය.


























