සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා මෑතකදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී වත්මන් පාලනය දැඩි දෝෂදර්ශනයට ලක් කළේය. එහිදී ඔහු අවධාරණය කළේ අනුර කුමාර දිසානායක මහතා විපක්ෂයේ සිටියදී දැක්වූ අදහස් සහ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු සිදුකරන ක්‍රියාවන් අතර අහසට පොළොව මෙන් වෙනසක් පවතින බවයි. ජනතාවට සහන සැලසීමට වඩා පෝලිම් පාලනය කිරීමට පමණක් රජය උත්සාහ කරන බවත්, මැතිවරණ සමයේ ලබාදුන් පොරොන්දු සියල්ල මේ වන විට අමතක කර දමා ඇති බවත් මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේය.ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, වත්මන් පාලනය දැන් ක්‍රියාත්මක කරන්නේ ‘අනුර කුමාර සූත්‍රය’ බවයි. ඩොලරයේ අගය සුළු වශයෙන් ඉහළ යන විට පවා රුපියල් දෙකක වැනි වැඩි අගයකින් තෙල් මිල ඉහළ දැමීමට රජය කටයුතු කරන බව ඔහු පැවසීය. QR පද්ධතිය පවා නිසි ලෙස කළමනාකරණය කර ගැනීමට නොහැකි වී ඇති පසුබිමක, බලයට ඒම සඳහා භාවිතා කළ අසත්‍ය ප්‍රකාශ දැන් ජනතාවට පැහැදිලි වෙමින් පවතින බව හර්ෂණ රාජකරුණා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.මෙම විවේචනයට එක්වූ පූජ්‍ය ආචාර්ය අනුරාධපුරයේ සෝමරතන හිමියන් ද වත්මන් පාලනයේ ක්‍රියාකලාපය උපහාසාත්මකව විග්‍රහ කළහ. අතීතයේදී අනුර කුමාර සහ ටිල්වින් සිල්වා යන මහත්වරුන් සිදුකළ ප්‍රකාශ පිළිබඳව දැන් ඔවුන්ට ‘ඇමිනීෂියා’ හෙවත් මතකය අහිමි වීමේ රෝගය වැළඳී ඇති බව උන්වහන්සේ වදාළහ. “ගෝඨාභය හොඳටම කළා” යැයි පැවසූ මතය අභිබවා යමින්, වත්මන් ජනාධිපතිවරයා දැන් ඊටත් වඩා “හොඳටම කරමින්” සිටින බව උන්වහන්සේ මෙහිදී අවධාරණය කළහ.
























