අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් රට සාමකාමී ලෙස පවත්වාගෙන යාමට කැපවනවා

අපේ හමුදා සාමාජිකයින් යුද, නාවික, ගුවන් හමුදාවල සාමාජිකයන් ලෙස දීර්ඝ කාලයක් රාජකාරි කර, උසස් නිපුණත්වයක් ලබා හැකියාවන් වර්ධනය කරගෙන සමාජයේ හොඳ පුරවැසියන් ලෙස ජීවත් වෙනවා. ජාතික ජන බලවේගය සමග විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ අදිටන සාමූහිකය තුළ දිවයින පුරා 40,000ක් පමණ ක්‍රියාකාරීව වැඩ කරනවා. මේ රට වෙනුවෙන් විනයගරුකව වගකීම් සාර්ථකව ඉටුකර විශ්‍රාමිකව සිටින අතර, මේ රටට අත්වී තිබෙන ඛේදනීය තත්වය අපට පැහැදිලිව දැක ගන්න ලැබුණා. මේ තත්වයෙන් ගොඩ එන්න අපෙන් සිදුකළ යුතු කාර්ය භාරය ඉටුකිරීම වෙනුවෙන් සොයා බලන විට ජාතික ජන බලවේගය ඉදිරියට එන ආකාරය අපි දැක්කා. ඔවුන් සමග දීර්ඝ ලෙස සාකච්ඡා කර, අපගේ දෙවන මෙහෙවර ලෙස 2021 අවසානයේදී ඉතාමත් සැලසුම් සහගතව අදිටන සාමූහිකය නිර්මාණය කළා. ගෙවී ගිය වසර දෙකක කාලය තුළ එතෙර සිටින අපේ විශ්‍රාමිකයන් පවා විශේෂ කැපකිරීම් කළා. අප අත්පත් කරගෙන තිබෙන වෘත්තිමය දැනුම හා හැකියාව රට ගොඩනැගීම වෙනුවෙන් ජාතික ජන බලවේගය සමග එක්වී ලබාදීමට යොමු වුණා. අපේ තරුණ පරපුරට වගේම සමස්ත ජනතාවටම අපි ආදරෙයි. අප සක්‍රීය සේවයේ සිටි කාලයේ මානුෂීය ගුණාංගවලින් යුක්තව මානුෂීය මෙහෙයුමක් සිදුකළ අත්දැකීම් උපරිමයෙන් සිදුකර, මේ විශේෂ කටයුත්ත වෙනුවෙන් අද ලබාදී සිටිනවා. ඒ නිසාම අනෙකුත් පක්ෂ සහ රජය නොසිතූ කම්පනයකට ලක්වුණා. ජාතික ජන බලවේගයට විරුද්ධව දේශපාලනයේ යෙදී සිටින පක්ෂ සහ කණ්ඩායම් අදිටන ත්‍රිවිධ හමුදා සාමූහිකය සම්බන්ධයෙන් නොයෙකුත් මඩ අවලාද එල්ල කරන වීඩියෝ පට සහ පෝස්ට් සමාජ මාධ්‍යයේ පළ කරනවා. මාලිමාවට එරෙහිව කටයුතු කරන දේශපාලන පක්ෂ පවා මාධ්‍ය හමු පවත්වමින් අදිටන සාමූහිකයේ ක්‍රියාකාරකම් පිළිබඳව ව්‍යාජ සහ බොරු ප්‍රචාර ගෙනයනවා.

ඒ නිසයි, මම මුලින්ම අවධාරණය කළේ පසුගිය යුද්ධය පැවැති කාලයේ මෙම සාමාජිකයන් විශාල මානුෂීය මෙහෙයුමක් කළ අය බව. අපිට ජාතික ජන බලවේගය විශ්වාසයි. ඒ වගේම අපි කරන ක්‍රියාකාරකම් ගැන අපට විශ්වාසයි. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් හැදීමේ අරමුණෙන් ක්‍රියාකරනවා වගේම ප්‍රතිපත්තිමය වශයෙන් සැප්තැම්බර් 21 දින ජනාධිපතිවරණයට උපරිම සහයෝගය ලබාදී ඉතාමත් සාමකාමී මැතිවරණයකට ඉඩ සලසනවා. ඉන් පසුවත් සාමකාමී වාතාවරණයක් ඇති කිරීම අපේ පරම වගකීම සහ යුතුකමයි. එය අපි ඉතාමත් විශ්වාසනීය ලෙස ජාතික ජන බලවේගයත් සමග එක්වී ක්‍රියාකරනවා. ජනාධිපති ලෙස තෝරා පත්වෙන අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් මේ රට සාමකාමී ලෙස පවත්වාගෙන යාමට ඇප කැපවී ක්‍රියාකරනවා. අපි රටවැසියාට බොරු පොරොන්දු දෙන්න හදාගත් සාමූහිකයක් නොවෙයි. දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම අස්සක් මුල්ලක් නෑර යමින් ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා විජයග්‍රහණය කරවීම සඳහා අපි ඇප කැපවී ක්‍රියාකරනවා. සැප්තැම්බර් 21 දායින් පසු රට තුළ මහත් කලබලයක් ඇති කරන බවටත් එයට අදිටන විශ්‍රාමික සාමූහිකයේ අය සම්බන්ධ වෙන බවටත් මඩ අවලාද යවමින් තිබෙනවා. මම ඉතාමත් වගකීමෙන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ එවැනි අවලාදවලට ඇහුම්කන් නොදෙන ලෙසයි. එවැනි තත්වයක් ඇති වෙන්න කිසිසේත්ම ඉඩක් නැහැ.

අපි මෙම සාමූහිකය ගොඩනඟා ගත්තේ බිම් මට්ටමේ සිට ත්‍රිවිධ හමුදා විශ්‍රාමිකයන් හමුවී සාකච්ඡා කිරීමෙන් පසුවයි. ඒ නිසා මෙම සාමූහිකය පොළොවේ පැලවුණු මුදුන් මුල් සහිත මහා වෘක්ෂයක් වූ ජාතික ජන බලවේගයට එක්වී සිටිනවා. එළඹෙන පස්වැනිදා සහ හය වැනිදා තැපැල් ඡන්දය පාවිච්චි කිරීමේදී ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ටද එම අයිතිය හිමිව තිබෙනවා. අප සමග රාජකාරි කළ අය හැටියට මේ රටට අත්වී තිබෙන ඛේදවාචකය ගැන සියලු දෙනාටම හොඳ අවබෝධයක් තිබෙනවා. ඒ නිසා තැපැල් ඡන්දය පාවිච්චි කිරීමේදී බුද්ධිමත්ව හොඳින් සිතා බලා කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා. ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට මෙතෙක් නීත්‍යානුකූලව ලබාදී තිබෙන පහසුකම් කිසිවක් අඩු නොවන බවත් විශේෂයෙන්ම ප්‍රතිපත්තිමය වශයෙන් ජාතික මහ සමුළුවේදී ප්‍රකාශයට පත්කර තිබෙනවා. ත්‍රිවිධ හමුදාවේ ගරුත්වය, අනන්‍යතාව සහ නීත්‍යානුකූලව රජයෙන් ලබාදී තිබෙන පහසුකම් කිසිම කප්පාදුවක් නොවෙන බව සහතික කර කියා සිටිනවා. අප ප්‍රකාශ කරන කරුණු විකෘති කරමින් ප්‍රචාරය කිරීමට තරම් ඇතැම් පිරිස් බිය වී සිටිනවා. රට විනාශයට වගකිව යුතු පිරිස් ඒ ආකාරයෙන් ක්‍රියාකරන බව අපි දන්නවා.

සිවිල් ආරක්ෂක බලකාය ඉතාමත් හැකියාවෙන් යුක්තව 30,000ක පමණ සාමාජිකත්වයකින් රට පුරා ක්‍රියාත්මක වෙනවා. ඔවුන්ගේ ගරුත්වය රැකෙන පරිදි කාලීනව අවශ්‍ය පුහුණුවීම ලබාදී රටට වැඩදායී ලෙස යොදවා ගන්නවා. ඔවුන්ගේ රැකියාවේ ස්ථාවරභාවය ආරක්ෂා කරනවා. මියගිය සහ අතුරුදහන් වූ ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ පවුල්වල සාමාජිකයන් සමග ජාතික ජන බලවේගය දීර්ඝ වශයෙන් සාකච්ඡා කර වැඩපිළිවෙළක් සකස්කර තිබෙනවා. ඒ වගේම විශ්‍රාම වැටුප්වල පවතින විෂමතාවය අවසන් කිරීමට කටයුතු කරනවා. සැප්තැම්බර් 18 වැනිදා රාත්‍රියේ ඡන්ද ප්‍රචාරක කටයුතු අවසන් කිරීමත් සමග ඡන්ද පවත්වා අවසන් වන තුරු අපගේ ටී ෂර්ට් පළඳින්න බැහැ. එම කාලය තුළ අදිටන ටී ෂර්ට් පැළඳගෙන කටයුතු කරනවා නම්, ඔවුන් අපගේ සාමාජිකයන් නොවෙයි. අදිටන ටී ෂර්ට් භාවිතා කර, වීඩියෝ ක්ලිප්ස් සකස්කර, ව්‍යාජ මත ඉදිරිපත් කර තිබුණා. සැප්තැම්බර් 18 දින දක්වා අප යම් විශේෂිත කටයුත්තක් කරනවා නම් මේ ආකාරයෙන් ප්‍රසිද්ධ මාධ්‍ය හමුවක් පවත්වා ජනතාවට කරුණු හෙළි කරනවා. ඒ අනුව ජනතාවට අප කරන ක්‍රියාකාරකම් ගැන විනිවිද භාවයකින් යුතුව තේරුම් ගැනීම පහසු වෙනවා. ජාතික ජන බලවේගය ජනතාව අතරේ අත්පත් කරගෙන තිබෙන මහා ප්‍රසාදය ඉදිරියේ පසුබැස ඇති පිරිස් ඔවුන්ගේ බලය රැකගැනීමට ක්‍රියාකරන ආකාරය ගැන මහජනතාවට මේ දිනවල හොඳින් දැකගන්න පුළුවන්. ඒ නිසා සමාජ මාධ්‍ය භාවිතා කරමින් ඉදිරියේදී හුවාමාරු වන අසත්‍ය කරුණුවලට මුළා නොවෙන ලෙස ඕනෑකමින් ඉල්ලා සිටිනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *