• විදුලි බිල අඩු නොකිරීමට ලංවිමය කරන කුමන්ත්‍රණය ගැන පාඨලීගෙන් හෙලිදරව්වක්..!
මහජන උපයෝගීතා කොමිෂන් සභාව (PUCSL) මගින් නිර්දේශ කරන ලද විදුලි බිල 20% කින් අඩු කිරීමට එරෙහිව ලංකා විදුලිබල මණ්ඩලය කරන කුමන්ත්‍රණය හෙළිදරව් කරමින් අද (18) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වන ලදී. එහිදී රණවක මහතා අවධාරණය කළේ මහජන උපයෝගීතා කොමිෂන් සභාව රට පුරා සිදු කළ පරීක්ෂණ මත මෙම තීරණය ගෙන ඇති අතර, එය ජනතාවට ලබා දුන් පොරොන්දුවක් බව ය. මහජන උපයෝගීතා කොමිසම විසින් පවත්වන ලද මෙම මත විමසුම සඳහා තමන් ද කරුණු දැක්වූ බව පෙන්වා දෙන රණවක මහතා ලංකා විදුලිබල මණ්ඩලයට එරෙහිව බරපතළ චෝදනා රැසක් එල්ල කරයි. ඒ අතරින් ප්‍රධාන වශයෙන්, විදුලි බිල අඩු කිරීමට හැකියාවක් නැති බව පෙන්වීම සඳහා වැරදි ඉලක්කම් භාවිතා කිරීම කැපී පෙනේ.
ලංකා විදුලිබල මණ්ඩලය 2024 මේ කාල වල දී කළ සෙල්ලම මෙවරත් කරලා තියෙනවා මේ නව රජය යටතේ. මේ නව ඇමතිවරයා යටතේ. ඒක වෙනස් කරලා, යුක්තිය ඉෂ්ඨ කරලා දෙන්න කියන පණිවිඩය අපි ලබා දුන්නා. බොහොම විද්‍යානුකූලව ලබා දුන්නා. ඒ අනුව අපි ස්තූතිවන්ත වෙනවා මහජන උපයෝගිතා කොමිසමට අනුර හරිනි ආණ්ඩුවේ ලයිට් බද්ද පිළිබඳව දැඩි තීරණයක් අරගෙන 20% ක හෝ සහනයක් ලබාදීම ගැන අපේ ජනතාවට.
දැන් ආණ්ඩුවේ ප්‍රතිචාරය ගැන අපි කණගාටු වෙනවා. පළමුවෙන්ම ලංකා විදුලිබල මණ්ඩලයේ ලිපියක් යවලා තියෙනවා මේ පිළිබඳව මුදල් අමාත්‍යාංශයේ උපදෙස් ලබා ගන්න ඕනේ. එහෙම නැත්තං නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගන්න ඕනි කියලා අදහසක් ඇවිල්ලා තියෙනවා. මේ මහජන උපයෝගීතා කොමිසම පත් කිරීම ගැන. මේක අපිට සිහි ගන්වන්නේ ගිය අවුරුද්දේ මේ විදිහටම තමයි මහජන උපයෝගීතා කොමිසම තීරණය කළාම මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිට විරුද්ධව පසුගිය රජයේ ක්‍රියා කරපු ආකාරය ට සිහි ගන්වනවා මේ අලුත් ලංකා විදුලිබල මණ්ඩලයේ මේ ක්‍රියාවලියත් එක්ක. ඒ නිසා අපි බොහොම පැහැදිලිව කියන්න ඕනේ ලංකා විදුලිබල මණ්ඩලය මේ ක්‍රියාවලිය දිගටම කරපු සෙල්ලමක්. අපි ඒක පෙන්නලා දුන්නා. වැරදි ඉලක්කම් දාලා මේ කටයුතු කිරීම ගැන.
එමෙන්ම ආණ්ඩුවේ මන්ත්‍රීවරු විදුලි බිල අඩු කළ නොහැකි බවට පාර්ලිමේන්තුවේ දී බොරු ප්‍රකාශ කළ බව ද, රණවක මහතා පෙන්වා දෙයි.
“විශේෂයෙන් බලශක්ති ඇමතිවරයා. අවුරුදු තුනකින් මෙහා මේ බිල අඩු කරන්න බෑ කියලා ප්‍රකාශයක් කළා. ඇත්තටම කියන්න තිබුණ එකේ අනිත් පැත්ත. මොකද මේ ජනාධිපති ඉතා ම පැහැදිලිව කිව්වා තුනෙන් එකකින් ඔහු පැමිණි පසු කෙටි කලක් ඇතුළත විදුලි බිල අඩු කරනවා කියලා. 33%කින් අඩු කරනවා කිව්වා. දැන් 20% කින් අඩු කිරීම ගැන සතුටු වෙන්න ඕන. එහෙම සතුටු වීමකට වඩා අපිට පේන්නේ මේ පිළිබඳව ඔවුන් කිසියම් ආකාරයකට කල් දමා ගැනීමේ උපක්‍රමයක් අනුගමනය කිරීම. මහජන උපයෝගීතා කොමිසමේ ඒ පනත ගිය වසරේ ගිය ආණ්ඩුව සෑහෙන බාල්දු කරන්න හැදුවා. ඒ බාල්දු කිරීමේ උත්සාහය අපි පාර්ලිමේන්තුවේ වළක්වලා මහජන උපයෝගීතා කොමිසමේ නියාමන බලය 2002 ලැබිච්ච නියාමන බලය ඒ විදිහටම ලබා දුන්නා. ඒ නිසා මේකත් එක්ක සෙල්ලම් කරන්න එන්න එපා. ඕගොල්ලන්ට සල්ලි ඕන්නම් සල්ලි ඕනයි කියන්න. බදු මුදල් ඕනයි කියන්න. ඕගොල්ලන්ගේ පාලකයා වෙච්ච ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඕන විදිහට අපිට බදු ඕනේ. ඒ නිසා අපි මේ බද්ද පවත්වාගෙන යනවයි කියලා ජනාධිපති අනුරයි අගමැති හරිනියි කියන්න. අනිත් කතාව ඔය ගිහිල්ලා අවුරුදු තුනක් ඇතුළත හරිත බලශක්තිය නංවනවා. එහෙම නැත්තං විදුලි බිල අඩු කරනවා වගේ. පට්ටපල් බොරු කියන්න එපා. දැන් ඔබ හොඳට බොරු කියලා තමයි බලයට ආවේ. ආයි තව බොරු කියලා අපිව රවට්ටන්න යන්න එපා.”
ආණ්ඩුව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ තීරණය ක්‍රියාත්මක කිරීමට අකමැති වීම සම්බන්ධයෙන් ද, රණවක මහතා මෙහිදී පෙන්වා දුන්නේ ය.
“මේගොල්ලන්ට පුලුවන් ද නීතිමය වශයෙන් කල් ගන්න. ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති ලැජ්ජයි. විදුලිබල ක්ෂේත්රයේ හිටිය වෘත්තීයවේදියෙක් හැටියට ඔහු තමයි කිව්වේ 40%කින් අපේ කර්මාන්තවල විදුලි බිල අඩු කළේ නැත්නම්, කර්මාන්ත ඇද වැටෙනවා කියලා. ඔහු දැන් ප්‍රකාශ කරනවා මේ මුදල් අමාත්‍යාංශයේ කතාවක්. බොහොම පැහැදිලිව, ඔහුට මම පෙන්නලා දෙන්න ඕනේ, විදුලි බිල පිළිබඳව, මහජන උපයෝගීතා කොමිසමට සම්පූර්ණ බලය තියෙනවා විතරක් නෙවෙයි, විසිහත එක වගන්තිය අනුව, මහජන උපයෝගීතා කොමිසමේ තීන්දුවට අනුකූල නොවන අයට එරෙහිව නීතිමය පියවර ගන්න පුළුවන් ඒ බව විදුලි බල මණ්ඩලයේ සභාපති, විදුලිබල හා බලශක්ති ඇමති මේ ජනපති, මේ අගමැති මතක තබා ගත යුතුයි. අපි මේ ගැන ඉතා ම තදින් ක්‍රියා කරනවා. ඔවුන් මේ නියෝග පිළිපැද්දේ නැත්නම්, ඒ පිළිබඳ නීතියෙන් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒගොල්ලන්ටත් අවශ්‍ය නම් උසාවි යන්න පුළුවන්. හැබැයි ඔවුන් මේ නියෝග ක්‍රියාත්මක කළේ නැත්නම්, මහජන උපයෝගිතා කොමිසමේ ඒ පිළිබඳ නීතිමය ක්‍රියාමාර්ගවලට යන්න අපි කටයුතු කරනවා. මොකද, විසිහත එක වගන්තියෙන් ඉතාම පැහැදිලිව විදුලිබල මණ්ඩලයට හෝ වෙනත් ආයතනයකට මහජන උපයෝගීතා කොමිසමේ නිර්දේශ ඉක්මවා යන්න බෑ. ඒ වගේම මේ විදුලි බිල පිළිබඳව අවසාන තීරණයේ අධිකාරිය හැටියට ඉන්නේ තිස්වෙනි වගන්තියෙන් මහජන උපයෝගීතා කොමිසම මිසක් විදුලිබල මණ්ඩලයේ විදුලිබල ඇමතිවත් විදුලිබල මණ්ඩලයේ සභාපතිවත්, සාමාන්යාධිකාරීවත් නෙවෙයි. ඒක නිසා ඒ බලය ලබාදීලා තියෙන්නේ. ඒ බලය දිය කරන්න ගිය අවුරුද්දේ උත්සාහ කළා. නමුත් පාර්ලිමේන්තුවේදී අපි ඒක පරාජය කරලා බලය ලබාදුන්නා.”
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රණවක මහතා;
ලංවිමයේ මූල්‍ය තත්ත්වය ගැන කෙබර ඇද බාන ආණ්ඩුව සහ ලංවිමය
මේ ඇද බාන කෙබරවල මූල්‍ය තත්ත්වය අපි පසුගියදා ඒ පවත්වපු සභාවෙදිත් පෙන්නලා දුන්නා මේ මූල්‍ය තත්ත්වය ගැන කියන පට්ටපල් බොරු මේ ජනාධිපති, මේ අගමැති, ඒ වගේම මේ විදුලිබල ඇමති හා මේ ආණ්ඩුවේ මන්ත්‍රීවරු අපි බලමු මේ විගණන විමසුමක් තියනවා මේ විගණකාධිපති කරපු විගණන විමසුමක්. ඒ විමසුමේ ඉතාම නිශ්චිතව මේ ලංකා විදුලිබල මණ්ඩලය පිළිබඳ 2024 දෙසැම්බර් මාසේ වෙනකොට තත්ත්වය පැහැදිලි වෙලා තියනවා. මේක කියවන්න කියලා අපි මේ විගණන විමසුම පාර්ලිමේන්තුවට ගිහිල්ලා බොරු දෙසා බාන්න කලින් බලශක්ති ඇමතිට. දැන් ලංකා විදුලිබල මණ්ඩලය කියන්නේ ඇත්තද? මේ විදුලිබල සභාපතිලා කියන්නේ ඇත්තද? නෑ. මේගොල්ලෝ 2024 මාර්තු මාසේ මොකද කිව්වේ? විදුලි බිල අඩු කරන්න බෑ. අපේ වියදම් වැඩියි. අපිට සිද්ධ වෙනවා ක්‍රමයට යන්න 3.34%කින් විතරක් විදුලි බිල අඩු කරන්නම් කියලා කිව්වා. අපි පෙන්නලා දුන්නා මේ ඉලක්කම් පට්ටපල් බොරු කියලා. විදුලිබල මණ්ඩලයේ අධික ලාභ උපයලා තියෙනවා කියලා 2023 බිලියන 63ක් ඉපැයෙව්වා. අපි ඒක පෙන්නලා දුන්නා. මහජන උපයෝගීතා කොමිසමේ පිළිගත්තා. ඒ අනුව තමයි 22%ක සහනයක් ලබා දුන්නේ. දැන් මහජන උපයෝගීතා කොමිසම 22%ක සහනයක් ලබා දුන්නම 2023-24 විදුලිබල මණ්ඩලය පාඩු ලැබුවද? නෑ. අන්න විදුලිබල මණ්ඩලයේ පට්ටපල් බොරුව එළිදැක්වුණා. මම දැක්කා අර පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ගිහිල්ලා කියනවා ආයි මහජනයා රවට්ටන්න. දැන් පායන කාලයක් එළඹිලා තියෙන්නේ. ඒක නිසා ගාස්තු වැඩි කරන්න මිසක් අඩු කරන්න බෑ කියලා. මේගොල්ලෝ තමයි විපක්ෂේ ඉන්න කාලේ ගිහිල්ලා ඔය විදිහටම කතා පැවැත්තුවේ. නෑ අපි අඩු කරනවා 35%කින් කියලා. මේ නලින්ද ජයතිස්ස ඇමතිතුමා, වසන්ත සමරසිංහ ඇමතිතුමා. ගිය ඔක්තෝබර් මාසේ විදුලි බල ගාස්තු අඩු කිරීමට ජූලි මාසේ තිබිච්ච අවස්ථාවේ දී ඔවුන් ගිහින් කිව්වා 35%කින් අඩු කරනවා කියලා. 1/3කින් අඩු කරනවා කියලා මේ ජනාධිපති කිව්වා. ජනාධිපතිවරණයෙන් පස්සෙත් කිව්වා. මහ ඡන්දෙදි ඡන්ද ලබාගත්තේ ඕවා කියලා. දැන් ජූලි මාසේ මොකද කිව්වේ? ලංකා විදුලිබල මණ්ඩලය 2024. අපට පාඩුයි. අපේ වියදම් සැරයි. ඒක නිසා 4.6%කින් විතරක් අඩු කරන්නං කියලා කිව්වා. මහජන උපයෝගීතා කොමිසමට අපි ගිහින් කරුණු දැක්වුවා. ඒ වෙනකොට ලංකාවේ විදුලිබල මණ්ඩලය දැවැන්ත ලාභයක් උපයලා තිබුණා. ඒ නිසා ඒ ලාභය මහජනයාගෙන් හූරා ගත්ත එකක්. ඒක ලබා දෙන්න කියලා. මහජන උපයෝගිතා කොමිසම 22.49%කින් අඩු කළා. එහෙම අඩු කළා කියලා අර විදුලිබල මණ්ඩලය කියපු විදිහට ලංකා විදුලිබල මණ්ඩලය පාඩු ලැබුවද? නෑ ආයේ ලාභ ලැබුවා. ඒ නිසා මේ 2025 ඉදිරිපත් කරලා තියෙන දත්තත් ඇත්ත දත්ත නෙවෙයි. ඒක මේ විගණන වාර්තාවෙත් තියෙනවා. මහජන උපයෝගීතා කොමිසමේ ඒ කතා බහෙත් තියෙනවා.
විශේෂයෙන් මං ඇමතිවරයාට කියන්න ඕනේ මේ තාම කතා කරනවා එකේ ණය ගැන. අනික් ඒව ගැන. මතක තියාගන්න ලංකා විදුලිබල මණ්ඩලයට ඔවුන්ගේ ඇත්තටම කාලෙක ඉඳන් ලංකා විදුලිබල මණ්ඩලයේ ව්‍යාපෘති ණය ගෙව්වේ මේ රටේ මහජනයා. ලංකා විදුලිබල මණ්ඩලය නෙමෙයි. නමුත් ප්‍රථම වතාවට ඉතිහාසයේ, 2023 දි මේ ආර්ථික අර්බුදය නිසා ලංකා විදුලිබල මණ්ඩලයේ ව්‍යාපෘති ණය ගෙවීම, පාරිභෝගිකයාට පැටෙව්වා. පාරිභෝගිකයාට පටවලා, ඒක එකතු කළා අපගේ විදුලි බිලට. කොහොම රජය ලංකා විදුලිබල මණ්ඩලයේ අතීතයේ ඉඳන් තිබිච්ච ප්‍රශ්නත් එක්ක තිබිච්ච ඒ ගාස්තු වලින් බිලියන 578ක් මහා භාණ්ඩාගාරය අරගෙන තියෙනවා. මහා භාණ්ඩාගාරය මේ පිනට ගත්ත ඒවා නෙමෙයි. රටේ බදු ගෙවන ජනතාව ඒක අරගෙන තියෙනවා. දැන් මේ ඇමතිවරයා කිව්වා තව බිලියන 322ක් තියෙනවා කියලා. මොනවද ඒ 322 තියෙන්නේ? මේකෙන් ඇත්තටම Project Loan වල තියෙනවා බිලියන 184ක්. ඒක නිසා මේවා මේ ව්‍යාපෘති ණය අවුරුදු දහයෙන් පහළවෙන් විස්සෙන් ගෙවන්න තියෙන ඒවා. මේවා විදුලිබල මේකෙත් නැද්ද? මේ අය ක්‍රමය ඇතුලේ නැද්ද? මේ අය ක්‍රමය ඇතුලේ තියෙනවා. ඔහුට අපි කියනවා කරුණාකරලා විගණන විමසුම කියවන්න. විගණන විමසුමේ හය, හත වගන්තියෙන් බොහොම නිශ්චිතව කියනවා, විදුලිබල මණ්ඩලය තමන්ගේ අය ක්‍රමය ඇතුළට මේ සියලු ණය වියදම් ඔක්කොම එකක් හැටියට, මූල්‍ය වියදමක් හැටියට, ඇතුල් කරලයි හදලා තියෙන්නේ කියලා. මතක තියාගන්න 2023-24 ලබපු ලාභ සහ ක්ෂය වීම කියන එක, හරහා ඉතුරු කරපු ධනය ගත්තම සෑම විදුලි පාරිභෝගිකයෙක්ගෙන්ම රුපියල් 33,000ක් අර ගෙන තියෙනවා. ඒක ආපසු දෙන්න කියන එකයි අපි කියන්නේ. අනාගතය පුරෝකථනය කරලා, ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ගාස්තු අය කිරීම තීරණය කරන්න බෑ.
මොකද අනාගත පුරෝකථන ලංකා විදුලිබල මණ්ඩලයත් වැරදියි. කාටවත් කරන්න පුළුවන් එකකුත් නෙමෙයි. නමුත් අතීතයේ උදුරාගත්ත ධනය ආපසු දෙන්න කියලයි අපි කියන්නේ. ඒක නිසා, මේ පිළිබඳ මූල්‍යමය තත්ත්වය ඒකයි, ආර්ථිකමය කාරණය ගත්තොත් විශාල පිරිසකට, මිලියනයකට අධික පිරිසකගේ විදුලිය කපලා තියෙනවා විදුලි බිල් ගෙවන්න බැරුව. කර්මාන්ත වලින් සීයට විස්සක් පමණ වැහී ගිහින් තියෙනවා මේ අධික විදුලි බල ගාස්තු නිසා. එතකොට ඒ නිසා රටේ ආර්ථිකය පුනර්ජීවනය කරන්න නම් ඉදිරියට ගන්න නම් අනිවාර්යයෙන්ම යුක්ති සහගත සහ වියදම් පිළිබඳ, වියදම්ට ගැලපෙන අය ක්‍රමයක් එන්න ඕනේ. දැන් කරන්නේ සහගහන බද්දක් හැටියට, ලයිට් බද්දක් හැටියට, සහගහනවා මේ ආණ්ඩුවට. ඒ බද්ද මහජනයා මත තවදුරටත් පටවගෙන යනවා. මහජනයාට අවසාන වශයෙන් බොරු කියලා, වංචා කරලා, විදුලි බිල තුනෙන් එකකින් අඩු කරනවා කියලා බලයට ඇවිල්ලා, දැන් කරන්නේ මේකයි.
මහජන උපයෝගීතා කොමිසම ජනතාවගේ පැත්තෙන් ගත්ත ක්‍රියාමාර්ගයට සහය දෙන්න. ඒ වගේම මේ ක්‍රෙඩිට් ගන්න එන්න එපා. අපි බිල අඩු කළා කියලා එහෙම ජනාධිපතියි අනුරයි හරිනි අගමැතිතුමියයි ක්‍රෙඩිට් ගන්න එන්න එපා. ඕගොල්ලෝ එහෙම කිසිම තැනක කිව්වේ නෑ අඩු කරනවා කියලා. මේ කාලෙ ඕගොල්ලෝ කිව්වේ අඩු කරන්න බෑ අවුරුදු තුනක් යනකං කියලා. එදා ඕගොල්ලන්ගේ බලශක්ති ඇමතිගේ මතය. ඒක තමයි ඕගොල්ලන්ගේ අයගේ මතය. ඒක තමයි ආණ්ඩුවේ මතය තිබුණේ. දැනුත් මේ විදුලිබල මණ්ඩලය හරහා මේ කරන්න උත්සාහ කරන්නේ ඒකයි. ඒක නිසා මහජන උපයෝගීතා කොමිසමට තමයි ක්‍රෙඩිට් එකක් යනවනං යන්ඩ ඕනේ ඒ වගේම මේ රටේ මහජනයා මේ වෙනුවෙන් පෙනී හිටපු සියලුම දෙනාට ඒ පිළිබඳ අපි ගෞරව කරන ගමන් විදුලිබල මණ්ඩලයේ මේ ක්‍රියාවලිය නතර කිරීමට දැන් කාලය ඇවිල්ලා තියෙනවා ඒ සඳහා කටයුතු කළ යුතුයි.”
මෙහිදී මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දුන් පාඨලී චම්පික රණවක මහතා;
ප්රශ්නය: අපි දැනගත්තේ ඊයේ මධ්‍යම රාත්‍රී 12 ඉඳලා විදුලි බිල අඩුවුණා කියලා. දැන් එහෙම වෙලා නැද්ද?
පිළිතුර: අනිවාර්යයෙන්ම අඩුවෙන්න ඕනේ. නීතිමය තත්ත්වය ඒකයි. ඒකට පටහැනිව ක්‍රියා කරනවා නම් මේ ආණ්ඩුව මහජනයාට අයිතියක් තියෙනවා නීතියේ පිළිසරණ පතන්න. ඒගොල්ලෝ එහෙම කරන්නෙ නැත්නම් ඒගොල්ලන්ටත් පුළුවන් අධිකරණයේ ඉදිරියට ගිහිල්ලා අභියාචනාධිකරණයට ගිහිල්ලා මහජන උපයෝගීතා කොමිසමට එරෙහිව තීන්දුවක් ගන්න. ඒක සම්පූර්ණ නීති විරෝධීයි.
ප්රශ්නය: ඒ කියන්නේ ඔබතුමාලා පුරෝකථනයක්ද කරන්නේ මේ ආණ්ඩුව මේක කරන එකක් නෑ කියලා.?
පිළිතුර: නෑ. කළ යුතුයි. පුරෝකථනය කියන්නේ ලංකා විදුලිබල මණ්ඩලය ලිපියක් යවලා තියෙනවනේ. මහජන උපයෝගීතා කොමිසම නීත්‍යානුකූලව පිහිටුවලා නෑ කියලා. ඒ වගේම විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා කිව්වනේ මේක මුදල් අමාත්‍යාංශයේ උපදෙස් අවශ්‍යයි කියලා. මුදල් අමාත්‍යාංශය මේකට සම්බන්ධ නෑ. මුදල් අමාත්‍යාංශය නෙමෙයි මේ තීරණ ගන්නේ මහජන උපයෝගිතා කොමිසම. ඒ මුදල් අමාත්‍යාංශය කියන කරුණු අනෙක් කරුණු මේ සියල්ලම විමසා බලලා තමයි මහජන උපයෝගිතා කොමිසම මේ තීරණය අරන් තියෙන්නේ.
ප්රශ්නය: දැන් මහජන උපයෝගීතා කොමිසම 20%කින් නෙ අඩු කරන්නේ කියලා යෝජනා කරන්නේ. එතකොට ඔබ කියන විදියට ඔබගේ යෝජනාව මොකක්ද?
පිළිතුර: මේ මොහොතේ 30%-35%කින්ම අඩු කරන්න පුළුවන්. ඇත්ත කතාව ඒකයි. මොකද ලංකා විදුලිබල මණ්ඩලය 2023-24 බිලියන් 275ක ලාභයක් උපයලා තියෙනවා.
ප්රශ්නය: ජනාධිපතිවරයා චීනයට ගියා. පැරණි ආයෝජන සක්‍රීය කරගෙන එනවා? මොකක්ද මේ වෙන්නෙ ඇත්තටම?
පිළිතුර: බොහෝ ව්‍යාපෘති අතීත ව්‍යාපෘති. අලුත් ආයෝජන කියලා කිසිවක් ඇවිල්ලා නෑ. විශේෂයෙන්ම ඔය තෙල් පිරිපහදුව පිළිබඳ කරුණ ගත් කළ, ඕක කාලයක් තිස්සේ තියෙන අදහසක්. ඔය වරාය හදන වෙලාවෙත් 2011 මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව කාලේ අක්කර දෙදාහකට අධික ප්‍රමාණයක් ඔය වරායේ අවට කර්මාන්ත පුරයකට වෙන් කළා. එක අංගයක් තිබුණේ ඔය පිරිපහදුව. ඒ වගේ ම මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ කාලේ ඒ මුල අවස්ථාවේ අපි චීනෙට ගියා. ඒ චීන කණ්ඩායමේ මමත් හිටියා පිරිපහදු දෙකක් හැදීම සඳහා. යෝජනාවක් කැබිනට් මණ්ඩලය අනුමත කරලා තියෙනවා. මලික් සමරවික්‍රම ඇමතිතුමා ගෙනල්ලා. ඒ වගේ ම ගිය ආණ්ඩුවලත් ඕක දිගටම කතා වෙච්ච දෙයක්. අලුත් දෙයක් නෑ. අලුත් යමක් නෑ. එක ම දේ තමයි හොංකොං නගරය වගේ ලංකාවත් තමන්ගේ ප්‍රාන්තයක් කරගන්න චීනය උත්සාහ කරනවායි කියපු නායකයාට ගිහිල්ලා වරාය නගරය සම්බන්ධයෙන් ව්‍යාජ මත පතුරපු නායකයින්ට ගිහිල්ලා මේක කරන්න සිද්ධ වෙච්ච එක තමයි ඛේදවාචකය.
මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) මගින් නිර්දේශ කරන ලද සාධාරණ 20% විදුලි බිල අඩු කිරීමට එරෙහිව CEB කරන කුමන්ත්‍රණය” සම්බන්ධයෙන් අද (18) එක්සත් ජනරජ පෙරමුණ විසින් පවත්වන ලද මෙම මාධ්‍ය හමුව සඳහා එක්සත් ජනරජ පෙරමුණේ නීති අංශයේ ප්‍රධානී, නීතීඥ රජික කොඩිතුවක්කු, තරුණ අංශයේ චමුද ප්‍රනාන්දු යන මහත්වරුන් ද එක්ව සිටියහ.