මහරගම අපේක්ෂා රෝහලේ අලුතින් ස්ථාපිත කරන ලද “ආහාර හා පාන දෙපාර්තමේන්තුව” හෙට (06) විවෘත කිරීමට නියමිත අතර, මෙය මෙරට රජයේ රෝහලක මෙවැනි පහසුකමක් හඳුන්වා දෙන ප්‍රථම අවස්ථාව වේ. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වන මෙම නියමු ව්‍යාපෘතියේ අරමුණ වන්නේ රෝහල්ගත රෝගීන් සඳහා වඩාත් පෝෂ්‍යදායී, රසවත් සහ පුද්ගලීකරණය කළ ආහාර වේලක් ලබා දීමයි. මෙතෙක් පැවති සාම්ප්‍රදායික බෙදා දීමේ ක්‍රමය වෙනුවට, බත්, ව්‍යාංජන සහ ප්‍රෝටීන වෙන වෙනම අඩංගු ක්‍රමවත් ආහාර තැටියක් (Customised Plate) රෝගීන්ට පිරිනැමෙන අතර, ඒ සඳහා රෝගීන් 2,000කට එකවර ආහාර පිළියෙළ කළ හැකි නවීන මුළුතැන්ගෙයක් ද විවෘත කෙරේ.අපේක්ෂා රෝහල් පාලන අධිකාරිය, ශ්‍රී ලංකා වෛද්‍ය පෝෂණ සංගමය සහ පෝෂණවේදීන්ගේ සංගමය එක්ව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන සඳහා රුහුණු මහා කතරගම දේවාලය, ශ්‍රී ලංකා යුද හමුදාව සහ පෞද්ගලික ආයතන රැසක සහයෝගය ලැබී ඇත. ප්‍රතිකාර ලබන කාලය තුළ සංකූලතා අවම කර ගැනීමට පෝෂ්‍යදායී ආහාර අත්‍යවශ්‍ය බව පෙන්වා දෙන ව්‍යාපෘති සම්බන්ධීකාරක වෛද්‍ය සජිත මල්ලවාරච්චි මහතා, නිවසින් ගෙන එන ආහාරවලට වඩා ගුණාත්මක සහ රසවත් ආහාර වේලක් රෝහල තුළම ලබා දීම මෙහි ප්‍රධාන අරමුණ බව සඳහන් කළේය. ඉදිරියේදී මෙම වැඩපිළිවෙළ දිවයින පුරා පිහිටි සෙසු රජයේ රෝහල් වෙත ද ව්‍යාප්ත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර ඇත.


























